ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මුහුදට වඩා දුක ගැඹුරුයි

  • 2014 ජූලි 10

බෝට්ටු මගින් ඕස්ට්‍රේලියානු දියඹට ඇතුල් වී සිටින දෙමළ සරණාගතයන් පවසන්නේ තමන් යළි ශ්‍රී ලංකාවට යවනු ලැබුනොත් අත්අඩංගුවට ගැනීමට සහ වධ හිංසාවන්ට ගොදුරු විය හැකි බව.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ සිටින බීබීසී නිදහස් මාධ්‍යවේදී ෆිල් මර්සර් (Phil Mercer) බෝට්ටු මගින් එරටට ඇතුල් වී සිටින ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයන්ගේ හඬට මෙන් ම බෝට්ටු මගින් එන්නන් ගැන එරට මහජන හඬටත් සවන් දීමෙන් අනතුරුව සකස් කළ වාර්තාවක් මේ.

කෙම්බිමක් සොයා

ෆිල් මර්සර් සමඟ දොඩමලු වූ ශ්‍රී ලාංකික සරණාගතයන් පවසන්නේ ආපසු යවනු ලැබුනොත් වධ හිංසාවන්ට ලක් විය හැලි බව.

“මම ලංකාවට යැව්වොත් පාලකයෝ මාව අල්ලලා වධ හිංසා සිදු කරාවි කියල මට බයයි” විසි දෙ හැවිරිදි ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයෙක් ඔහු හා පැවසීය.

ශ්‍රී ලංකාවේ බොහෝ දෙමළ ජාතිකයන් ‘අනතුරු දායක තැනක වාසය කරන්නේය’ යන්න පූජක ජෝන් ජෙගසෝතිගේ තක්සේරුවයි.

“දෙමළ ජනතාව ශ්‍රී ලංකාවෙන් පැනල එන්නේ හේතුවක් ඇතිව. රට යළි මුහුණ දී සිටින අනතුර නිසා ඔවුන් රටින් පිටවෙනවා. තමන්ගේ පවුලේ තමන්ට ආදරය කරන අය ඉදිරිපිට දී සන්නද්ධ හමුදා අතින් මැරෙනවාට වැඩිය මුහුද මැද මැරෙන එක හොඳයි කියලයි ඔවුන් ඒ තීරණය ගන්නේ.” පූජක ජෝන් ජෙගසෝති පවසයි.

ඕස්ට්‍රේලියාවේ දේශ සීමා පාලනය භාර අණදෙන නිලධාරී ඇන්ගුස් කැම්බල් පෙනී සිටින අන්තර්ජාල වෙබ් අඩවියේ ප්‍රචාරය කෙරෙන වීඩියෝ පටන් කියා සිටින්නේ ‘ඔස්ට්‍රේලියාව පිටස්තරයන්ට නිවහනක් නොවන’ බව.

අබලන් බෝට්ටු මගින්

ඕස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබට් පවසන්නේ ඉහත කී ක්‍රියාමාර්ග ගනු ලබන්නේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් වන බව. එසේම දේශපාලන සරණාගතයන් යාත්‍රා කිරීමට තරම් නුසුදුසු මට්ටමේ බෝට්ටු මගින් ගමන් ගැනීමේ අන්තරාය වළක්වා ලීම තවත් අරමුණක් බවයි අගමැති ටෝනි ඇබට් පවසන්නේ.

මේ අතර ෆිල් මර්සර්ට මුණ ගැසුණ ඕස්ට්‍රේලියානු කාන්තාවක් කියා සිටියේ අව්‍යාජ අනාථයන් පිළිගත් ක්‍රම අනුගමනය කරමින් පැමිණිය යුතු බවයි.

“අනාථයෙක් විධියට එන්න නීතිය මගින් පිළිගත් ක්‍රම තියෙනවා. ඇත්ත අනාථයෙක් නම් පිළිගත් ක්‍රමයට එන්න පුළුවන්” ඇය කියා සිටින්නී ය.

තවත් කාන්තාවක් කියා සිටියේ, “බෝට්ටු වලින් ගෙනෙන ළමයින් ගැන දුකක් ඇති වුනත් බෝට්ටු සරණාගතයන්ගේ පැමිණීම නතර කළ යුතුව ”ඇති බවයි.