ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'විධායක ක්‍රමය වෙනුවට නව පාලන ක්‍රමයක්'

  • 2014 ජූලි 10

අසීමිත බලතල සහිත විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට රටට ගැළපෙන නව පාලන ක්‍රමයක් සකස් කර ගැනීමට සියළු පාර්ශවවල අවධානය යොමු විය යුතු බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ගේ 'පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාව' මගින් ප්‍රකාශයට පත් කරන ලද 'රට ගතයුතු මග' නම් වූ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේය.

'විපක්ෂය ශක්තිමත් කළ යුතුයි'

ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ අනුපාත ක්‍රමය ක්‍රියාත්මක කරයි නම් විධායකයේ ස්ථාවර භාවය ඇති කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂය හා අතුරලියේ රතන හිමියන්ගේ 'පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාව' අතර එකගත්වයක් ඇතිවූ බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට හඳුන්වා දිය හැකි විකල්ප පිළිබඳව රට තුල විවිධ අදහස් පවතින බව පැවසූ විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ එක්සත් ජාතික පක්ෂයේ මතය වන්නේ රටට සහ රටේ සංවර්ධනයට ගැලෙපෙන විකල්පයක් ගෙන ඒම බවයි.

"එක මතයක් තමයි වෙස්ට්මිනිස්ටර් ක්‍රමය, තව මතයක් තමයි විධායක ජනාධිපති ක්‍රමයේ අසීමිත බලතල අඩුකරලා විධායක ජනාධිපතිකම රදවා ගැනීම, විකල්පය මොකක්ද කියලා හොයන්න ඕනේ රටට ගැලපෙන විදිහට රටේ සංවර්ධනයට ගැලපෙන විදිහට ඉදිරියට යන්න කියන එක තමයි අපේ මතය වෙන්නේ" විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

විධායක ක්‍රමයට සශෝධන යෝජනා

පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාව ඉදිරිපත් කළ ලියවිල්ල සමන්විත වන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි නොකට සංශෝධනය කළ යුතු බවට කරුණු අඩංගු යෝජනාවලියකිනි.

යෝජනාවලියට එක්සත් ජාතික පක්ෂයෙන් සාධනීය ප්‍රතිචාරයක් ලැබුණු බවයි අතුරලියේ රත්න හිමියන් සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් පැවසුවේ.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ මතය සහ තම සභාවේ මතය අතර දැඩි වෙනසක් නැති බව මෙම සාකච්ඡාවෙන් වැටහුණු බවයි අතුරලියේ රතන හිමියන් පැවසුවේ.

"කවුරුත් මේකට 100% එකඟයි කියනවාට වඩා මේ ලියවිල්ල හොඳ ප්‍රවේශයක් බවට පත්වෙලා තියෙනවා, ඒ ගැන අපි ගොඩක් ආඩම්බර වෙනවා, හැමෝම මේකට සාධනීය ඇමනුම් ඉදිරිපත් කරලා තියෙනවා"-අතුරලියේ රතන හිමියෝ කීහ.

මේ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ හා වාමාංශික පක්ෂ සමග සාකච්ඡා කර ඇති බව පැවසූ අතුරලියේ රතන හිමියෝ ඉදිරියේදී දෙමළ ජාතික සන්ධානය ඇතුලූ සුළු ජාතික පක්ෂ සමගද සාකච්ඡා කරන බවත් පැවසූහ.