ජනරාල් චන්ද්‍රසිරි යළිත් උතුරේ ආණ්ඩුකරු

Image copyright np.gov.lk
Image caption මේජර් ජනරාල්වරයා ඉවත් කරන මෙන් මහ ඇමතිවරයා දිගින් දිගටම ඉල්ලා සිටියේය

මේජර් ජනරාල් ජී ඒ චන්ද්‍රසිරි උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස යළිත් වරක් ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පත් කරනු ලැබ ඇත.

යුද ගැටුම්වලින් අනතුරුව 2009 දී මුලින්ම උතුරේ ආණ්ඩුකාර පදවියට පත් කරනු ලැබූ මේජර් ජනරාල් ජී.ඒ චන්ද්‍රසිරිගේ ධුර කාලය නිමාවීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් ඔහු යළිත් වරක් එම පදවියට පත් කර ඇතැයිරජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල බීබීසී සංදේශයට පැවසීය.

මේජර් ජනරාල්වරයා උතුරු පළාත් සභාවේ පරිපාලනයට බාධා කරන බව පවසමින්, ඔහු ඉවත් කරන මෙන් මහ ඇමති සී.වී විග්නේශ්වරන් සහ දෙමළ ජාතික සන්ධානය දිගින් දිගටම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර තිබුණි.

උතුරු පළාතේ හමුදා භටයන් විශාල පිරිසක් රඳවා තැබීම පිළිබඳවද දෙමළ ජාතික සන්ධානය සහ මහ ඇමති විග්නේශ්වරන් ඇතුළු උතුරු පළාත් සභා පරිපාලනය දැඩි විරෝධය පළ කරයි.

ආණ්ඩු පක්ෂයෙනුත් මැසිවිලි

Image caption ආර්.සම්බන්ධන්

උතුරේ ආණ්ඩුකාර පදවිය ගැන අදහස් දැක්වූ ජාතික භාෂා සහ ජාතික ඒකාග්‍රතා ඇමති වාසුදේව නානායක්කාර පැවසුවේ ආණ්ඩුව ජාතික සංහිඳියාවට තිබුණ අවස්ථාවක් අහිමි කරගත් බවයි.

ඇමති වරුන් අතර මේ සම්බන්ධයෙන් විවිධ අදහස් සහ මත බේද පවතින බවත් වාසුදේව නානායක්කාර ඇමතිවරයා කියා සිටියි.

තව දුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා කියා සිටියේ ආණ්ඩුකාර වරයෙකු පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට පැවරුනත් මධ්‍යම ආණ්ඩුවේ අදහස සහ උතුරු පළාත් සභාවේ අදහසද විමසා මෙම තීරණය ගත්තේ නම් මත භේද ඇති නොවන බවයි.

දෙමළ ජාතික සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් පැවසුවේ මේ ආණ්ඩුකාරවරයා තනතුරෙන් ඉවත් කරන මෙන් දැඩි ඉල්ලීමක් උතුරු පළාතේ පැවති බවත් ඒ සියලු අදහස් ඉල්ලීම් වලට එරෙහිව මෙම පත්වීම සිදුව ඇති බවයි.

මෙම තීරණය යහපත් තීරණයක් ලෙස පිළිගත නොහැකි බවයි දෙමළ ජාතික සන්ධානයේ නායකයා කියා සිටින්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර