දිස්ත්‍රික්ක ගණනාවක දැඩි සුළං

  • 13 ජූලි 2014
Image caption රත්නපුර දිස්ත්‍රික්කය අවට පැවතින දැඩි සුළඟින් හානියට පත් නිවසක්

බදුල්ල, රත්නපුර, බලංගොඩ, නුවරඑලිය දිස්ත්‍රික්කවල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලත් හටගත් දැඩි සුළං හේතුවෙන් එක් පුද්ගලයකු මියගොස් නිවාස 885 කට අර්ධ හානි සිදු වී තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

නිවාස විසි තුනකට පූර්ණ හානි සිදු වී තිබෙන බවත් මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි බීබීසී දෙමළ සේවයට කියා සිටියේය.

තවත් පහළොස් දෙනෙකුට තුවාල සිදු වී තිබෙන අතර මෙම සංඛ්‍යාවන් තවත් ඉහල යාමට ඉඩ තිබෙන බවත් ඔහු සඳහන් කළේය.

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක පවතින දැඩි සුළං තත්වය හේතුවෙන් ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් පනහකට අයත් දෙසියයකට වැඩි පිරිසක් අවතැන් වී සිටින බව රත්නපුර මහ දිසාපති සුනිල් කන්නන්ගර පවසයි.

විශ්ව විද්‍යාලය වැසේ

දැඩි සුළඟට හසු වී නිවාස පනහක පමණ වහල සුළඟේ ගසා ගෙන ගොස් ඇති බවයි, අජිත්ලාල් ශාන්ත උදය රත්නපුරයේ සිට වාර්තා කරන්නේ.

රත්නපුර දිස්ත්‍රික්කයට අයත් තුඹතැන්න විහාරය ඇතුළු සබරගමුව සරසවියේ ශිෂ්‍යාවන් දෙසීය හැත්තෑවක් නේවාසිකව වෙසෙන පුද්ගලික තැනැත්තෙකුගෙන් බදු පදනමට ගත් කාන්තා නේවාසිකාගාරයක් සුළඟට හසු වී හානියට පත් වී ඇති අතර සරසවි භූමියේ ඇති ගස් සහ අතු කඩා වැටීමෙන් නිල නිවසක් ඇතුළු ගොඩනැගිලි කිහිපයකට හානි සිදු වී ඇත.

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් සබරගමුව විශ්ව විද්‍යාලය අද ඉරිදා දහවල් සිට සතියක කාලයක් තාවකාලිකව වසා දැමූ බව උප කුලපති චන්දන පී උඩවත්ත පවසයි.

විදුලි රැහැන් පද්ධති මතට ගස් කඩා වැටීම හේතුවෙන් ප්‍රදේශයේ විදුලිය පැය ගණනාවක් මුළුල්ලේ සිට ඇන හිට තිබේ. විදුලිය නොමැති වීමෙන් නළ ජලය සැපයුමද අඩාල වී තිබේ.

මාර්ග හරහා ගස් කඩා වැටීමෙන් ප්‍රදේශයේ වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව බලංගොඩ පොලිස් ස්ථානාධිපති ගයාන් ප්‍රසන්න පවසයි.

තද සුළං තත්වය මේ මොහොත වන විටත් පවතින බවයි පැවසෙන්නේ.

අවතැන් වූ පිරිස් හල්පේ විද්‍යාලයේ සහ වෙහෙරගොඩ විද්‍යාලවල තාවකාලිකව රැඳී සිටිති.

හානියට පත් නිවාස තුළ වූ දේපළ ආරක්ෂා කිරීමට පොලිස් ජංගම ආරක්ෂක සේවයක් පැය විසි හතර පුරා ක්‍රියාත්මක අතර, කොළඹ සිට බදුල්ල දක්වා දිවෙන ප්‍රධාන මාර්ගය දිවෙන්නේ හානියට පත් මෙම ප්‍රදේශ හරහායි.

පවතින දැඩි සුළං තත්වය සඳුදා වන විට පහව යෑමට බොහෝ සෙයින් ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර