විමර්ශනවලට තව කාලය අවශ්‍යයි - කොමිසම

යුද සමයේදී අතුරුදහන් වු පුද්ගලයින් පිළිබදව තොරතුරු සොයා බලා සාක්ෂි සටහන් කොට විමර්ශන අවසන් කිරීමට තවත් විශාල කාලයක් අවශ්‍ය බව විශේෂ ජනාධිපති කොමිසම ප්‍රකාශ කරයි.

ඒ සඳහා අමතර කාලයක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව කොමිසමේ සභාපති මැක්ස්වල් පරණගම බී.බී.සී. සංදේශයට පැවසුවේය.

මේ වන විට මාස හයක කාලයක් ,එක් අවස්ථාවකදී ජනාධිපතිවරයා විසින් කොමිසම වෙත ලබාදී ඇති බව කී සභාපතිවරයා ඉල්ලනු ලබන අවස්ථා වලදී ජනාධිපතිවරයා එක් වරකට ලබාදෙන්නේ මාස හයක කාලයක් යැයිද ප්‍රකාශ කළේය.

කොමිසමේ ලේකම් එච්.ඩබ්ලිව්.ගුණදාස පැවසුවේ උතුරු හා නැගෙනහිර පළාත්වල සියළු සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නොහැකි වී ඇති පරිසරයක් හමුවේ එම කටයුතු අවසන් කිරීමට තවත් වසරකවත් කාලයක් අවශ්‍ය බවයි.

ෂෙල් වෙඩි ප්‍රහාර

කොමිසම මුලතිවු පළාතේදී රැස්වුණු අවස්ථාවේදී සාක්ෂිකරුවන් විශේෂයෙන් සඳහන් කළ දෑ පිළිබදව මැක්ස්වල් පරණගම සභාපතිවරයාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ අවසන් යුද සමයේදී එල්ල වූ ෂෙල් වෙඩි ප්‍රහාර වලින් සාමාන්‍ය වැසියන් විශාල පිරිසක් මිය යාමත් තුවාල ලැබීමත් සිදුවූ වග සාක්ෂිකරුවන් කී බවයි.

නමුත් එම ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළ පිරිස ගැන නිවැරදිව යමක් කීමට විශාල පිරිසක් අසමත් වුවත් ඇතමුන් එම ප්‍රහාර එල්ල කලේ එල්.ටී.ටී.ඊ.සාමජිකයින් බවට සාක්ෂි දුන්නේයැයිද සභාපතිවරයා පැවසුවේය.

එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් තම දරුවන් බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් යුද්ධයට සම්බන්ධ කිරීම නිසා ඔවුන් මියයාමට සහ තුවාල ලැබූ තත්වයන්ට පත් වූ බව මුලතිවු පළාතේ වැසියන් විශාල පිරිසක් කොමිසම හමුවේ සාක්කි දුන් බව මැක්ස්වල් පරණගම සභාපතිවරයා සඳහන් කළේය.

අතුරුදහන් වීම්

යුද හමුදාව විසින් එසේ පැහරගෙන ගිය බවට මේ වන විට එක් පැමිණිල්ලක් ලැබී ඇතැයිද කියා සිටි ඔහු යුද හමුදාව විසින් බරපතළ තත්ත්වයේ අතුරුදහන් වීම් කළ බවට මෙතෙක් සාක්ෂි ලැබී නොමැති බවද සඳහන් කළේය.

පුද්ගලයෙකු අතුරුදහන් කරවීමේ සිද්ධියකට සම්බන්ධ බවට නිශ්චිත වශයෙන් සාක්ෂිකරුවෙකු නම් කරණු ලබන අයෙකු , වර්ථමානයේදී අමාත්‍ය ධුරයක් දරනු ලැබූවද ඔහු කොමිසම ඉදිරියට කැඳවා සාක්කි විභාග කොට ඒ පිළිබදව වාර්තාවක් සකස් කරණ බවයි මැක්ස්වල් පරණගම සභාපතිවරයා කියා සිටියේ.

යම් හෙයකින් එකී පුද්ගලයා වරදකරුවෙකු බව පෙනීයන්නේ නම් ඔහුට එරෙහිව නීතිපතිවරයාගේ උපදෙස් මත නඩු පවරණ ලෙස ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරණ අවසන් වාර්තාවෙන් ඉල්ලා සිටින්නේ යැයිද කොමිසමේ සභාපතිවරයා පැවසුවේය.

උතුරු හා නැගෙනහිර පළාත්වලින් කොමිසම වෙත ලැබී ඇති පැමිණිලි 18000 ක් තරම් විශාල ප්‍රමාණයෙන් වැඩි කොටසක් දෙමළ භාෂාවෙන් ලැබී ඇති හෙයින් ඒවා ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමටද තවත් විශාල කාලයක් ගතවන බව කොමිසමේ සභාපති මැක්ස්වල් පරණගම වැඩිදුරටත් සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර