ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඌව පළාත් සභා නාම යෝජනා 'තහනම් කරන්න'

  • 2014 ජූලි 21

ආසන වෙන් කිරීම සම්බන්ධ මතභේදයට විසඳුමක් ලැබෙන තුරු ඌව පළාත් සභා මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂය (එජාප) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේය.

පෙත්සම ඉදිරිපත් කරනු ලැබුවේ, එජාපයෙන් පළාත් සභා මැතිවරණයට තරඟ වැදීමට නියමිතව සිටින බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු විසින්.

ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් බදුල්ල සහ මොනරාගල දිස්ත්‍රික්ක සඳහා මැතිවරණ කොමසාරිස්වරයා ආසන වෙන් කොට ඇති ආකාරය නීතියට පටහැනි බවයි, මන්ත්‍රීවරයා පවසන්නේ.

"මේ ආසන වෙන් කර ඇති ආකාරය මුළුමනින්ම වැරදියි. හාර ලක්ෂ හතලිස් දහසක ජනකායක් ඉන්න මොනරාගල දිස්ත්‍රික්කයට ආසන 14 ලබා දී තිබෙනවා. එහෙත් අට ලක්ෂ එකොලොස් දහසක ජනතාවක් ඉන්න බදුල්ල දිස්ත්‍රික්කයට ලබා දී තිබෙන්නේ ආසන 18 ක් පමණයි," යනුවෙන් ඔහු මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේය.

"මේක අසාධාරණයි. පළාත් සභා නීතියට පටහැනියි," යනුවෙන්ද හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කියා සිටියේය.

මෙම පෙත්සම භාර ගත් බව සඳහන් කළ ශ්‍රේෂ්ඨාධිකරණ ප්‍රකාශකයෙකු වැඩිදුර කටයුතු කිරීම සඳහා එය අගවිනිසුරුවරයා වෙත යොමුකරන ලද බවත් කියා සිටියේය.