ඛණිජ තෙල් සංස්ථාවේ 'ගඳ ගහන හොරකම්'

Image copyright ceypetco.gov.lk
Image caption 'ඛණිජ තෙල් සංස්ථාව කියන්නේ ඉතාමත්ම දූෂිත, ගඳ ගහන සොරකම් සිදු වන ස්ථානයක්'

ශ්‍රී ලංකා ඛණිජ තෙල් සංස්ථාව යනු 'ඉතාමත්ම දූෂිත, ගඳ ගහන සොරකම් සිදු වන' ස්ථානයක් බව එක්සත් ජාතික පක්ෂය (එජාප) පවසයි.

පසුගිය එක්සත් ජාතික පක්ෂයේ පාලන සමයේදී ලාභ ලබන ආයතනයක් බවට පත්ව තිබුණු ඛණිජ තෙල් සංස්ථාව, වර්තමානයේ 'ලෝකේ වටේටම ණය වී තිබෙන' බවද එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාරය හර්ෂ ද සිල්වා බීබීසී සංදේශයට කියා සිටියේය.

මන්ත්‍රීවරයා ඒ බව කියා සිටියේ, ගතව ගිය වසර හය ඇතුලත ඛණිජ තෙල් සංස්ථාව රුපියල් කෝටි 25,000ක පාඩුවක් ලබා ඇතැයි විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ කර තිබෙන ප්‍රකාශය පිළිබඳව සංදේශය විමසීමක් කළ අවස්ථාවේ.

'අනවශ්‍ය සහ වංචනික ලෙසින්' සංස්ථාවේ මුදල් භාවිතා කිරීම මෙම පාඩුවට හේතුව බව පවසන ආචාර්ය හර්ෂ ද සිල්වා, විශේෂයෙන්ම බාල තෙල් ගෙන්වීමේදී මාස 13 ක් ඇතුලත සංස්ථාවට සිදු වූ පාඩුව සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් පසුගිය වසරේ පවත්වන ලද විශේෂ විගණනයේ වාර්තාවට අනුව ඒ කාලය තුළ සංස්ථාව රුපියල් කෝටි 800 ක පාඩුවක් ලබා ඇතැයි අනාවරණය වූ බව පෙන්වා දුන්නේය.

'අශිෂ්ඨයි'

ඊට අමතරව හෙජින් ගනුදෙනුවට අදාළ අති විශාල පාඩුවද පියවා ගැනීම පිණිස ඛණිජ තෙල් සංස්ථාව විශාල වශයෙන් ණය ලබා ගෙන ඇති බවයි, ඔහු පවසන්නේ.

Image caption 'ඒක වහ ගෙන ඇතුලේ ශිෂ්ඨ සම්පන්න නොවන විදියට ගසා කෑමක් තමයි සිද්ද වෙන්නේ'

මේ අනුව ශ්‍රී ලංකාවේ සෑම දරුවෙකුම ජීවිතය ආරම්භ කරද්දී තෙල් සංස්ථාවේ පාඩුව වෙනුවෙන් රුපියල් කෝටි 12,500ක ණයකාරයෙකු වී තිබෙන බව පවසන එජාප නායක රනිල් වික‍්‍රමසිංහ, එබැවින් ඛණිජ තෙල් සංස්ථාව වසා දැමිය යුතු යයි සඳහන් කළ බවයි, ජනමාධ්‍ය වාර්තා කරන්නේ.

වැඩිදුර කරුණු විමසීම පිණිස විපක්ෂනායකවරයා ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

විපක්ෂනායකවරයා එම ප්‍රකාශයෙන් අදහස් කළේ කුමක්දැයි නොදන්නා නමුත්, තමන් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් පසුගියදා එහි සංචාරය කළ අවස්ථාවේ එහි පැවතියේ 'වසා දැමුවා හා සමාන තත්වයක්' බවයි, ආචාර්ය හර්ෂ ද සිල්වා පවසන්නේ.

"ඒක වහ ගෙන ඇතුලේ ශිෂ්ඨ සම්පන්න නොවන විදියට ගසා කෑමක් තමයි සිද්ද වෙන්නේ," යනුවෙන්ද මන්ත්‍රීවරයා සංදේශයේ සරෝජ් පතිරණ කළ විමසීමකදී කියා සිටියේය.

සංස්ථාවේ සිදු වන දූෂණ නවතා එහි යහපාලනය ස්ථාපිත කරන්නේ නම් යලිත් වරක් එය ලාභ ලබන ආයතනයක බවට පත් කළ හැකි බව එක්සත් ජාතික පක්ෂයේ මතයයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර