ග්ලාස්ගෝ ක්‍රීඩා උළෙලට පොදු රාජ්‍ය මණ්ඩලීය සභාපති නැහැ

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සැණකෙළිය අද බදාදා එක්සත් රාජධානියේ ස්කොට්ලන්තයේ ‘ග්ලාස්ගෝ’ නගරයේදී ආරම්භ වීමට නියමිතයි.

මෙම ක්‍රීඩා උළෙල නිමිත්තෙන් යෝධ ප්‍රචාරක ව්‍යාපාරයක් ද සහිතව පෙර සූදානම් කටයුතු පෙරට යමින් පවතින අතර පන්දහසකට ආසන්න පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්,ක්‍රීඩා උපදේශකයන් සහ රාජ්‍ය නිලධාරීන් දැනටමත් ‘ග්ලාස්ගෝ’ නගරයට පැමිණ සිටිති.

බ්‍රිතාන්‍යය එලිසබත් රැජිණ අද බදාදා සන්ධ්‍යාවේ ක්‍රීඩා උළෙල නිල වශයෙන් විවෘත කරන අතර පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල රාජ්‍ය නායකයන් කීප දෙනකුත් එම අවස්ථාවට සහභාගී වීමට නියමිතයි.

Image copyright Reuters
Image caption ග්ලාස්ගෝ ක්‍රීඩා සැණකෙළියට සැරසෙමින්.

මෙම සමාරම්භක අවස්ථාවට පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය හවුලේ වත්මන් සභාපතිත්වය දරන ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ සහභාගී නොවන බව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් තහවුරු කරනු ලැබ ඇති අතර සභාපතිවරයා ඉන් වැළකීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍යවල අවධානය යොමුව ඇත.

ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලයීය ප්‍රකාශකයෙක් සඳහන් කර කොට තිබෙන්නේ එවැනි සංචාරයක් සැලසුම් කරනු ලැබ නො තිබුණ බවයි.

එසේම ශ්‍රී ලංකා රජයට එරෙහිව නැගෙන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් චෝදනා හෝ 'ග්ලාස්ගෝ' නගරයේදී මුහුණ දීමට සිදු විය හැකි විරෝධතා ව්‍යාපාර ජනාධිපති මහින්ද රාජපක්ෂ එවැනි සංචාරයකින් වැලකීමට හේතු නොවූ බවත් ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රකාශ කොට ඇත.

2010 වසරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඔක්ස්ෆර්ඩ් සරසවියේ පැවැත්වීමට නියමිතව තිබුණ දේශනයක් බ්‍රිතාන්‍ය දෙමල ප්‍රජා උද්ඝෝෂණ හමුවේ අවලංගු කිරීමට සිදු විය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර