නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරුට 'මරණ තර්ජන'

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරන ලද වැඩ මුළුවකට සහභාගී වීම පිණිස යාපනයේ සිට කොළඹ බලා ගමන් ගනිමින් සිටි මාධ්‍යවේදීන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා ප්‍රවෘත්ති සාකච්ඡාවක් සංවිධානය කිරීම හේතුවෙන් තමන්ට දුරකථනය ඔස්සේ මරණ තර්ජන එල්ල වූ බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් සුනිල් ජයසේකර පවසයි.

ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා සහභාගී වන මෙන් මාධ්‍ය ආයතන වලට දැන්වීමෙන් අනතුරුව යම් කිසි පුද්ගලයකු තමාට දුරකතනයෙන් කතා කර ප්‍රවෘත්ති සාකච්ඡාව නොපවත්වන ලෙස මරණීය තර්ජන කළ බවයි සුනිල් ජයසේකර පවසන්නේ.

ඉරණම

ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වීම එල්ටීටීඊ ඩයස්පෝරාවට හා ශ්‍රී ලංකාවේ දෙමළ අන්තවාදයට කරන අනුග්‍රහයක් ලෙස හඳුන්වා ඇති තර්ජනය කළ පුද්ගලයා වැඩි දුරටත් කියා ඇත්තේ සාකච්ඡාව පැවැත්වුවොත් රටින් පිටවීමට පෙර අනෙකුත් මාධ්‍යවේදීන්ට අත් වූ ඉරණම ඔහුටත් අත් වනු ඇති බවයි.

මාධ්‍ය හමුවෙන් අනතුරුවත් දිගින් දිගටම මරණ තර්ජන එල්ල වූ බව සුනිල් ජයසේකර සංදේශයට කියා සිටියේය.

තර්ජනය කර පැමිණි දුරකථන ඇමතුම් හා ඒවායේ දුරකථන අංක ඇතුළුව මෙම සිදුවීම් මාලාව සම්බන්ධයෙන් ලිඛිත ප්‍රකාශයක් පොලිස්පතිවරයාට ලබා දෙන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් සුනිල් ජයසේකර වැඩිදුරටත් පැවසුවේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර