දස දහසකට වැඩි සෞඛ්‍ය සේවකයෝ පිරිසක් වර්ජනයේ

  • 30 ජූලි 2014
දහසකට අධික සෞඛ්‍ය සේවකයෝ කොළඹ පැවති විරෝධතා පා ගමනට එක් වුහ

වෘත්තිය සමිති විස්සක ශ්‍රේණි විසිහතකට අයත් කනිෂ්ඨ සෞඛ්‍ය සේවකයෝ දස දහසකට වැඩි පිරිසක් අද බදාදා ඉල්ලීම් පහක් මුල් කර ගනිමින් ලෙඩ නිවාඩු දමා වැඩ වර්ජනය කිරීම හේතුවෙන් දිවයින පුරා රෝහල් කටයුතු අඩාල වී තිබේ.

එම වෘත්තීය ක්‍රියාමාර්ගයට සමගාමීව දහසකට අධික සේවකයන් සහභාගි වූ විරෝධතා පා ගමනක් කොළඹ දී පැවැත්විණි.

වැටුප් වැඩි කිරීම, සේවකයන් ස්ථීර නොකිරීම හා හිඟ වැටුප් ලබා දීම යන මූලික කරුණු පදනම් කර ගනිමින් කනිෂ්ඨ සෞඛ්‍ය සේවකයෝ එහිදී විරෝධය ප්‍රකාශ කළහ.

කොළඹ ජාතික රෝහල අසලදී සෞඛ්‍ය සේවකයන් විසින් පෙත්සමක් අත්සන් කල අතර ඉන් අනතුරුව ඔවුන් පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ එම පෙත්සම භාර දුන්හ.

පෙත්සමක්

එම අවස්ථාවේ ජනාධිපති ලේකම් කාර්යාලය අසල දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබිණි.

ලෙඩ නිවාඩු දමා වෘත්තීය ක්‍රියාමාර්ගයකට පිවිසි ශ්‍රේණි විසි හතක සෞඛ්‍ය සේවකයන් අතරට රජයේ රෝහල් හා සෞඛ්‍ය ආයතනවල සේවය කරන කනිෂ්ඨ කාර්ය මණ්ඩල, විදුලි සෝපාන ක්‍රියාකරුවන්, අරක්කැමියන් හා දුරකථන ක්‍රියාකරුවන්ද ඇතුළත්.

අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් වසරකට වැඩි කාලයක සිට සෞඛ්‍ය අමාත්‍යංශය සමග වරින් වර සාකච්ඡා කළ නමුත් ඒ සඳහා කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බව විරෝධතාකරුවෝ සංදේශයට ප්‍රකාශ කළහ.

මෙම ඉල්ලීම් මුල් කර ගනිමින් සෞඛ්‍ය කාර්ය මණ්‌ඩල සාමාජිකයෝ පසුගිය දාහතර වනදා සිට කොළඹ ජාතික රෝහල ඉදිරිපිට අඛණ්ඩ උපවාසයක යෙදී සිටින අතර මෙම ගැට‍ළුවලට විසඳුමක් ලබා දෙන තුරු නොනවත්වා උපවාසයේ යෙදෙන බවයි ඔවුන් පවසන්නේ.

බාධා

වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ප්‍රධාන රෝහල් රැසක සේවා කටයුතුවලට බාධා මතු වූ හෙයින් ඇතැම් රෝහල්වල කටයුතු පවත්වා ගෙන යාම සඳහා ආරක්ෂක අංශවල සහය ලබා ගෙන තිබුණි.

මේ අතර කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් දෙපිරිසක් අතර හට ගත් ගැටුමක් හේතුවෙන් ජාතික රෝහලට පොලිස් ආරක්ෂාව යෙදීමට පියවර ගත් ‍බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ සංදේශයට පැවසුවේය.

කොළඹ ජාතික රෝහල ආසන්නයේ එක් වෛද්‍ය සංගමයක් විසින් පැවැත්වීමට කටයුතු යොදා තිබූ වැඩසටහනක් අනෙක් වෛද්‍ය සංගමය මැදිහත් වී කඩාකප්පල් කිරීම එම ගැටුමට හේතු වූ බවයි පැවසෙන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර