ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

හෙද සංගමය නඩු මගට බසී

මත භේදයට තුඩුදී ඇති රජයේ රෝහල්වල හෙදියන්ට සුතිකාගාර පුහුණුව ලබාදීමේ වැඩපිළිවෙල තුළ වරදක් නොමැති බව අගවිනිසුරුවරයා ප්‍රකාශ කළේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බලපෑම් හේතුවෙන් අදාළ පුහුණුව නතරකර ඇති බවයි කුරුණෑගල ශික්ෂණ රෝහලේ පුහුණුවන හෙද නිලධාරිනියන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනු කරමින් කියා සිටින්නේ.

මෙම ගැටලුවට සෞඛ්‍ය අමාත්‍යාංශය නිසි මැදිහත්වීමක් නොකිරීම නිසා නඩු මගට බැසීමට සිදුවූ බවයි පෙත්සම්කාර පාර්ශවය නියෝජනය කරන රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කියා සිටින්නේ.

'නඩු මගට යායුතු නැහැ'

‘’මේක නඩු මාර්ගයෙන් විසඳා ගතයුතු ප්‍රශ්නයක් නොවේ. සෞඛ්‍ය අමාත්‍යාංශය අවශ්‍ය මැදිහත්වීම් කිරීම පැහැර හැරීම නිසා තමයි අපට අධිකරණයට ඒමට සිදුවුනේ.’’ යනුවෙන් කි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් තමන්ට අධිකරණය වෙතින් සාධාරණ විසඳුමක් ලැබෙනු ඇති බවද කියා සිටියහ.

අදාළ පෙත්සම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ සෞඛ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් පෙනීසිටි නිතිවෙදිනියකියා සිටියේ අදාළ ගැටලුව නිරාකරණය කිරීම සදහා ජනාධිපතිවරයාගේ නියමයෙන් කමිටුවක් පත්කර ඇති බවයි.

පුහුණුවේ ප්‍රතිපල කඩිනමින්

ගැටලුව නිරාකරණය කිරීම සදහා එම කමිටු වාර්තාව උපකාර වනු ඇති බව පැවසූ අධිකරණය එම වාර්තාව අද දින සිට මාසයක් ඇතුලත අධිකරණයට ඉදිරිපත් කරන මෙන් රජයේ නිතිවෙදිනියට නියම කළේය.

එමෙන්ම මෙම අර්බුදය නිසා අඩාළ වී තිබෙන 2009 වසරේ හෙද පුහුණුවට එක්වූ හෙදියන්ගේ අවසන් ප්‍රතිපල අද දින සිට සති දෙකක් තුල නිකුත් කරන මෙන් ද අධිකරණය දිවයිනේ රජයේ හෙද විදුහල් 17 ක විදුහල්පති වරුන්ට නියම කළේය.

වැඩිදුර විමසීම සැප්තැම්බර් මස 05 වනදාට කල් දැමු අධිකරණය එදිනට මෙම ගැටලුව නිරාකරණය කිරීමට පියවර ගන්නා බවයි කියා සිටියේ.