ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'මාධ්‍ය වැඩමුළු රජයට ප්‍රශ්නයක්'-කෙහෙළිය

Image copyright AP

මාධ්‍යවේදීන් ජනවර්ග අනුව වෙන් කර මාධ්‍ය වැඩමුළු පැවැත්වීම සම්බන්ධයෙන් රජයට ප්‍රශ්නයක් ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

අමාත්‍යවරයා එම අදහස් පළ කළේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී, දෙමළ ජනමාධ්‍යවේදීන් ඉලක්ක කර ගනිමින් පැවැත්වූ මාධ්‍ය වැඩමුළු කිහිපයකට පසු ගිය දා එල්ල වූ බාධා සම්බන්ධයෙන් සංදේශය කල විමසුමකට පිළිතුරු දෙමින්.

මාධ්‍ය වැඩමුළු සිංහල හා ඉංග්‍රීසි භාෂා වලින් බාධාවකින් තොරව පැවැත්වුවද, දෙමළ මාධ්‍යයෙන් පැවැත්වීමේ දී පමණක් ඊට තුන් වරක්ම බාධා එල්ල වීමට හේතු විමසූ විට ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ සිංහල,ඉංග්‍රීසි, දෙමළ වැඩමුළුවල සමාන කරුණු ඉගැන්වූ බවට සහතිකයක් නැති බවයි.

මේ සම්බන්ධයෙන් රජයට ඇතැම් තොරතුරු ලැබී ඇති බව කියා සිටි අමාත්‍යවරයා රජය ක්‍රියා කරන්නේ ඒ අනුව බවයි පවසන්නේ.

කොළඹ වැඩමුළුව

පසුගිය සෙනසුරාදා කොළඹ පැවති වැඩමුළුවකට යාපනයේ සිට පැමිණීමේ දී මාධ්‍යවේදීන් ගමන් ගත් වාහනය, එහි රියදුරා කුඩා ගංජා පැකට්ටුවක් ළඟ තබා ගත් වරදට අත්අඩංගුවට පත් විය.

මාධ්‍යවේදීන් කියා සිටියේ වාහන පරීක්ෂාවක දී යුද හමුදාවේ සෙබළෙක් මෙම කුඩා ගංජා පැකට්ටුව වහනය තුලට දමන ලද බවයි.

දෙමළ මාධ්‍යවේදීන්ට තමන්ගේ භාෂාවෙන් වැඩමුළු පැවැත්වීම වැරැද්දක් දැයි සන්දේශය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජනමාධ්‍ය අමාත්‍යවරයා ‘වෙනම වැඩමුළු තියෙන එක ගැනයි මම කියන්නේ, අපි පුංචි ළමයි නෙමෙයිනේ, මේ රට මහා දැවැන්ත අවාසනාවන්ත යුගයක් අවසාන කරලා එන්නේ, ලෝකයේ තියෙන ඇතැම් බලගතු රටවල් රාජ්‍ය නොවන සංවිධාන හරහා රට තුළ සිදු කළ යම් යම් කටයුතු සම්බන්ධව සාක්ෂි ඇතිව ඔප්පු කරන්න කරුණු තියෙනවා, ඒ නිසා ඒ සම්බන්ධයෙන් පරිස්සම් වීම මම හිතනවා රජයක් හැටියට කල යුතු දෙයක් කියලා’ යනුවෙන් පිළිතුරු දුන්නේය.

රාජ්‍ය නොවන සංවිධාන මාධ්‍යවේදීන්ට පන්ති පවත්වන්නේ කුමක් නිසා දැයි ප්‍රශ්නයක් මතු වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මාධ්‍යවේදී වැඩමුළුවලට එල්ල වූ විරෝධතාවලට රජයේ කිසිදු සම්බන්ධතාවක් නොමැති බව පැවසූ අමාත්‍යවරයා, ප්‍රජාතන්ත්‍රවාදී ව ඉදිරිපත් වන විරෝධතා වැළැක්වීමට රජයට නොහැකි බවයි කියා සිටියේ.