ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

දිස්ත්‍රික්ක නමයක් නියඟයෙන් පීඩාවට

මේ දිනවල ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක නවයක පවතින දැඩි නියඟය නිසා පවුල් තුන් ලක්ෂ විසි දහසකට පමණ දැඩි බලපෑම් සිදු වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මූලික අවශ්‍යතා සපුරා ගැනීමට පවා ජලය නොමැති වීම නිසා තමන් ඉතා අසරණ තත්වයකට පත් වී ඇති බවයි නියඟයට මුහුණ දී සිටින ජනතාව පවසන්නේ.

අනුරාධපුරය, පොලොන්නරුව, හම්බන්තොට, ත්‍රිකුණාමලය, මුලතිව්, කිලිනොච්චිය, අම්පාර, මොණරාගල සහ කුරුණෑගල දිස්ත්‍රික්ක වල ජිවත් වන සමහරක් ජනතාව මේ වන විට දැඩි පානීය ජල හිඟයකට මුහුණ දී සිටියි.

ප්‍රදේශවාසීන් පවසන්නේ ජල හිඟයෙන් පීඩා විඳින ඇතැම් ප්‍රදේශවල බවුසර් මගින් ජලය බෙදා හැරීමට රජය කටයුතු කළත් එලෙස ලබා දෙන ජලය ප්‍රමාණවත් නොවන බවයි.

නියඟය නිසා ජලාශවල වතුර මට්ටම පහත වැටීමෙන් වගා බිම් රැසකට ජලය සපයා ගැනීමට නොහැකිව ගොවියන් අපහසුතාවට පත්ව සිටින අතර මේ හේතුවෙන් ප්‍රදේශ රැසක වගාවන් පාළු වී ගොස් තිබේ.

අනුරාධපුර වාරිමාර්ග අධ්‍යක්ෂක ලලිත් ද අල්විස් කියා සිටියේ මහා වාරි මාර්ග ක්‍රමය යටතේ වගා කළ හැකි අක්කර අනූ හත්දහසක ඉඩම් ප්‍රමාණයෙන් මෙවර යල කන්නයේ වගා කර ඇත්තේ අක්කර තිස් තුන් දහසක් පමණක් බවයි.

සහන සැලසීම

ඔහු වැඩි දුරටත් කියා සිටියේ මහා වාරි මාර්ග ව්‍යාපාරය යටතේ ජිවත් වන ගොවි පවුල් තිස් දහසකට බලපා ඇති නියඟය නිසා මෙවර බරපතළ ප්‍රශ්න මතු වී ඇති බවයි.

පීඩාවට පත් පවුල් වලට සහන සැලසීම දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා දැනටමත් ආරම්භ කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක සරත් ලාල් කුමාර පවසන්නේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය ඉරිදා පැවති උත්සවයක දී මෙම නියන් තත්වය ගැන අදහස් පළ කරමින් කියා සිටියේ නියඟය පාලනය කිරීමට රජයට නොහැකි වුවත් නියඟයට මුහුණ දීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන බවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ නියඟය පවතින ප්‍රදේශවලට වර්ෂාව ලැබීමට අවම වශයෙන් තව මාස දෙකක් හෝ තුනක් ගත වනු ඇති බවයි.