පොලිස් බලය ගැන තවත් විනිශ්චයක්

Image copyright Getty

පොලිසිය සතු අවම බලය අයුතු ආකාරයෙන් භාවිතා කිරීම වැළැක්වීම සඳහා ඒ පිළිබඳව සොයා බලන ආයතන ශක්තිමත් කළ යුතු බව මහජන විනිශ්චය සභාව පවසයි.

කොළඹ දී 'පොලිසියේ අවම බලය කුමක්ද?' යන මැයෙන් පැවැත්වූ රැස්වීමක දී අදහස් දැක්වූ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් ප්‍රතිභා මහානාම හේවා කියා සිටියේ තමන්ට ඉදිරිපත් කළ හැක්කේ නිර්දේශ පමණක් බවයි.

එම නිර්දේශ ක්‍රියාත්මක කරන මෙන් නියෝග නිකුත් කිරීමට තම කොමිසමට බලයක් නොමැති බවද ඔහු කියා සිටියේය.

"පසුගිය කාලයේ පොලිස් වෙඩි තැබීමෙන් වූ මරණ 48 ක් පිළිබඳව අපි පරීක්ෂණ පවත්වා තිබෙනවා. ඒ අතුරින් වෙඩි තැබීම් ගණනාවක් නීති විරෝධී බවටත් අපි නිර්දේශ කර තිබෙනවා. ඒත් අපට දිය හැක්කේ නිර්දේශ පමණයි."

මෙවන් මහජන විනිශ්චය සභා මගින් පොලිසිය විසින් අවම බලය වැරදි ආකාරයෙන් භාවිතා කිරීම වැළැක්වීමට බලපෑමක් ඇති කළ යුතු බව ඔහු වැඩි දුරටත් පැවසීය.

රාජකාරිය පැහැර හැරීම

‘රයිට් ටු ලයිෆ්’ සංවිධානයේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු කියා සිටියේ පොලිසියේ අවම බලය පරික්ෂා කල හැකි මහේස්ත්‍රාත්වරයා, අධිකරණ වෛද්‍ය නිලධාරියා වැනි තනතුරු තම වගකීම නිසි පරිදි ඉටු නො කිරීම නිසා මෙම අර්බුදය පැන නැගී ඇති බවයි.

පොලිස් වෙඩි පහරින් පුද්ගලයකු මියගිය පසු එම මරණයේ නීතිමය භාවය පිළිබඳව තීන්දුවක් දිය හැක්කේ මහේස්ත්‍රාත්වරයාට සහ අධිකරණය වෛද්‍ය නිලධාරියාට බව පවසන ඔහුගේ අදහස ඔවුන් තම වගකීම නිසි පරිදි ඉටු නොකරන බවයි.

මහජන විනිශ්චය සභාවේ සාමාජික නීතිවේදි ලක්ෂාන් ඩයස් යෝජනාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ මහේස්ත්‍රාත්වරුන් සහ අධිකරණ වෛද්‍ය නිලධාරීන් පුහුණු කිරීමේ වැඩපිළිවෙළක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මගින් ආරම්භ කළ යුතු බවයි.

රැස්වීම අතර වාරයේ එහි සංවිධායකයින් නිවේදනය කළේ මෙම රැස්වීමේ දී අදහස් දැක්වීම සඳහා ජාතික පොලිස් කොමිසමේ නියෝජිතයෙකුට සහ නියෝජ්‍ය පොලිස් පති අනුර සේනානායකට ආරාධනා කළත් ඔවුන් නොපැමිණි බවයි.

රැස්වීම පැවති මරදාන සමාජය සහ සාමයික කේන්ද්‍රය පිටත එම අවස්ථාවේ පොලිස් ආරක්ෂාව යොදවා තිබිණ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර