ජනාධිපති කොමිසම යළි මන්නාරමට

යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින් පිළිබඳව තොරතුරු සොයා බැලීම පිණිස ජනාධිපතිවරයා විසින් පත් කරණ ලද විශේෂ කොමිසම මන්නාරම දිස්ත්‍රික්කයේ වැසියන්ගෙන් සාක්කි සටහන් කර ගැනීම අරම්භ කොට ඇත.

අද, සිකුරාදා (08) ‘මාන්තෙයි’ දකුණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දීයි, කොමිසම සාක්ෂි විභාගය ආරම්භ කළේ.

කොමිසම මන්නාරම් දිස්ත්‍රික්කයේ වැසියන්ගෙන් දින හතරක් තිස්සේ සාක්කි සටහන් කර ගන්නා අතර, පළමු දින දෙකේදී ‘මාන්තෙයි’ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ද,ඉතිරි දින දෙක මන්නාරම ප්‍රාදේශීය ලේකම් කාර්යලයේදීද,සාක්කි රැස් කරණ බව එහි ලේකම් එච්.ඩබ්ලිව්.ගුණදාස පවසයි.

විශාල පිරිසක්

අදාළ දින හතර ඇතුළත සාක්කි ලබා ගැනීම සඳහා පැමිණෙන ලෙස කොමිසම ලිපි යවා ඇත්තේ 223 දෙනෙකුට පමණක් නමුත් ඊට අමතරව තවත් විශාල පිරිසක් කොමිසමට කරුණු ඉදිරිපත් කිරීම සඳහා පැමිණ සිටියහ.

එම ජනතාවටද ලියාපදිංචි වීම සඳහා ඉදිරි දින හතරේ අවස්ථාව සලසා දෙන බව ප්‍රකාශ කළ කොමිසමේ ලේකම්වරයා, ඔවුන්ගෙන් සාක්‍ෂි ලබා ගැනීම පිණිස ඉදිරි කාලයේ දී කොමිසම මන්නාරමට යළිත් පැමිණෙන බවත් ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා විසින් මෙම කොමිසමේ කාලය තවත් මාස හයකින් දීර්ඝ කොට ඇති බැවින් යුද්ධයේ දී අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් සාක්‍ෂි දීමට අවස්ථාවක් නොලැබෙනු ඇතැයි කිසිවකු බිය විය යුතු නැති බවත් ලේකම්වරයා පවසයි.

පැහැර ගැණීම්

මන්නාරමේ, ‘මාන්තෙයි’ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී අද සිකුරාදා කොමිසම රැස්වූ අවස්ථාවේදී සාක්කිදීමට පැමිණි පිරිසෙන් විශාල පිරිසක් කියා සිටියේ, තම දරුවන් එල්.ටී.ටී.ය. විසින් යුද්ධයට බඳවා ගැනීමෙන් පසුව ඔවුන් අතුරුදන් වූ බවයි.

ආරක්ෂක අංශ විසින් කට උත්තර ලබාගැනීම පිණිස රැගෙන ගොස් ආපසු නොඑවූ පුද්ගලයන් ගැනත් කොමිසම ඉදිරියේ සාක්‍ෂි ඉදිරිපත් කෙරුණි.

යුද සමයේදී ආරක්ෂක අංශ සිය නිවෙස් වලට පැමිණ සිදු කළ පුද්ගල පැහැර ගැනීම් පිළිබදවද කීප දෙනෙක් කොමිසම හමුවේ කරුණු ඉදිරිපත් කළහ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර