කොමිසම ගැන 'බලාපොරොත්තුවක් නැහැ' - මන්නාරම රදගුරුතුමා

යුද සමයේ අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කළ කොමිසම සම්බන්ධයෙන් විශාල බලාපොරොත්තු තැබිය නොහැකි බව මන්නාරම රදගුරු රායප්පු ජෝෂප් හිමිපාණෝ කියා සිටිති.

යුද්ධය අවසන් වීමෙන් පසු වර්තමාන රජය විසින් උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් ගෙනෙන ලද සියලුම යෝජනා සහ ව්‍යාපෘති ජනතාවට ප්‍රයෝජනයක් නොලැබෙන මුදල් කාබාසිනියා කෙරෙන වැඩසටහන් ලෙස පෙනීගියා සේ මෙම කොමිසමත් ජනතා අපේක්ෂා ඉටු කරනු ඇතැයි යන්න පිළිගත නොහැකි බවයි රදගුරු රයාප්පු ජෝශප් පියතුමා ප්‍රකාශ කරන්නේ.

ජනාධිපතිවරයා විසින් පත් කළ විශේෂ කොමිසම, මන්නාරම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැස් වූ අවස්ථාවේදී කොමිසම හමුවේ සාක්කි දීමට පැමිණි රදගුරුතුමා ඉන් අනතුරුව මාධ්‍යවේදීන් අමතා මේ බව ප්‍රකාශ කළේය.

මේ වන විට මන්නාරමේ වැසියන් එකසිය හැත්තෑඅට දෙනෙකු කොමිසම හමුවේ සාක්කි දී ඇති අතර තවත් හතළිස් පස් දෙනෙකු කොමිසමේ අවසන් දිනය වන සඳුදා සාක්කි දීමට නියමිතයි.

කොමිසම විසින් ලිපි නොයවන ලද මන්නාරමේ අලුතින් ලියාපදිංචි වූ තවත් එකසිය පනහක් පමණ දෙනා කොමිසම යළි රැස් වූ දිනක සාක්කි දීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි කොමිසමේ ලේකම් එච්.ඩබ්ලිවු.ගුණදාස පැවසුවේ.

ජනාධිපතිවරයාට ලිපියක්

කොමිසම හමුවේ ඉදිරිපත් කළ කරුණු මොනවාදැයි මාධ්‍යවේදීන් මන්නාරම රදගුරුතුමාගෙන් තවදුරටත් විමසූ විට උන්වහන්සේ කියා සිටියේ යුද සමයේදී සිදු වූ අපරාධ, පැහැර ගෙන යෑම්, අතුරුදහන් කර වීම් ඇතුළු සිද්ධීන් දාහතරක් සම්බන්ධයෙන් තමන් ජනාධිපතිවරයාට යවන ලද ලිපියට මෙතෙක් කිසිදු පිළිතුරක් නොලැබුණු හෙයින් එම ලිපියේ පිටපතක් කොමිසමට බාරදුන් බවයි.

තම ඥාතීන් අතුරුදහන් වීම පිළිබඳ වසර ගණනාවක් කණස්සල්ලෙන් සිටින වැසියන්ට තම දුක කීමට යළි අවස්ථාවක් පමණක් උදාවන ස්ථානයක් ලෙසයි කොමිසම සම්බන්ධයෙන් අර්ථ දැක්වීමක් කරමින් රදගුරුතුමා පැවසුවේ.

ජනාධිපති කොමිසම ඉදිරියේ මන්නාරම රදගුරුතුමා සාක්කි දෙන ලද්දේ යුද්ධය පැවති සම්පුර්ණ කාලයේ උතුරු නැගෙනහිර පුද්ගලයින් එක් ලක්ෂ හැත්තෑ දහසක් පමණ අතුරුදහන් වූ බවට ජනාධිපතිවරයාට ලිඛිත ප්‍රකාශයක් ඉදිරිපත් කොට තිබුණු පසුබිමක් මතයි.

මන්නාරම රදගුරු රායප්පු ජෝෂප් පියතුමාට එම ප්‍රකාශය සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී රහස් පොලිසිය හමුවේ කට උත්තර දීමට සිදු විය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර