'දේශපාලන විසදුම ප්‍රමාද දෙ.ජා.ස. නිසා නොවෙයි'

10 අගෝස්තු 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 17:13 GMT

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදයට දේශපාලන විසදුමක් ගෙන ඒම ප්‍රමාද වී ඇත්තේ තම පක්ෂය නිසා බවට එල්ල කෙරෙන චෝදනා දෙමළ ජාතික සන්ධානය ප්‍රතික්ෂේප කරයි.

තේරුමක් ඇති ව සිදු කරන සාකච්ඡා සඳහා සහභාගී වීමට තමන් සුදානම් බවයි දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් පවසන්නේ.

“ආණ්ඩුව කෙළින් කතා කරන්න ලෑස්ති නම් අපිත් කතා කරන්න ලෑස්ති”යයි ඔහු බීබීසී සංදේශයට කියා සිටියේය.

දෙමළ ජාතික සන්ධානය රජය සමග සාකච්ඡා පැවත්වීමට උනන්දුවක් නොදක්වන බවත්, තමාගේ ඉවසීම දුර්වලතාවයක් ලෙස සලකා ක්‍රියාකරන බවටත්, තමාගේ ඉවසීමට සීමාවක් තිබෙන බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය සතියේ පුවත්පත් කර්තෘවරු හමු වූ අවස්ථාවේ සිදු වූ කතා බහක දී කියා සිටි බව වාර්තා විය.

සාකච්ඡා ආරම්භ කිරීමට කිහිප වරක් උත්සාහ කලත් තමන් මතු කළ කරුණු සම්බන්ධයෙන් පිළිතුරක් නොලැබීමත්, දෙදහස් දොළහ වසරේ ජනවාරි මස පැවැත්වීමට තිබූ සාකච්ඡා සඳහා රජයේ පාර්ශ්වයෙන් කිසිවකු සහභාගී නොවීමත් හේතු කොටගෙන රජය සහ දෙමළ ජාතික සන්ධානය අතර සංවාදය ඉදිරියට ගෙන යාමට නොහැකි වූ බවයි සම්බන්ධන් මන්ත්‍රීවරයා පවසන්නේ.

තම පක්ෂය ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් පිළිතුරක් දෙන ලෙස තමා ජනාධිපති වරයා මුණ ගැසුන අවස්ථාවේ දී ඉල්ලා සිටි බව ද සඳහන් කළ ඔහු අර්ථාන්විත සාකච්ඡා සඳහා තමන් සුදානම් බව සංදේශයට කියා සිටියේය.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත් වන බවද දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් පැවසුවේය.