ශ්‍රී ලංකාව; අලින්ට අපල රටක්

ශ්‍රී ලංකාවේ අලි පරපුර මුහුණ දී ඇති අන්තරායට පවතින පරිසර නීතියේ ව්‍යාකූලත්වය බලපාන බව ජෛව සංරක්ෂණ මධ්‍යස්ථානය පවසයි.

එම පරිසර සංවිධානයේ සභාපති පුබුදු වීරරත්න බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට සහභාගී වෙමින් කියා සිටියේ, ගොවිතැන් සහ වෙනත් ආර්ථික ව්‍යාපෘතීන් සඳහා වනය කුඩා වපසරි වලට කැබලි කිරීම අලින්ගේ වාසභූමි ආක්‍රමණය කිරීමක් වන අතර තිරසාර නොවන කෘෂි රටාව එම වන ජීවීන්ට අන්තරායක් වී ඇති බවයි.

මේ අතර අලියාගේ සුරක්‍ෂිතභාවය කෙරෙහි අහිතකර ලෙස බලපාන පරිපාලන නීති ගැන අවධානය යොමු කරන ජෛව සංරක්ෂණ මධ්‍යස්ථානයේ සභාපති පුබුදු වීරරත්න වනයේ අයිතිය සම්බන්ධයෙන් පවතින නෛතික ව්‍යාකූලත්වය අලියාගේ ජීවිතයට බලපාන බවයි කියා සිටියේ.

අලියා බෙදා වෙන් කිරීම

‘වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු වනාන්තර තිබෙනවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු වනාන්තර තිබෙනවා. වාරි ක්‍රමවලට අයත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතු ඉඩම් තිබෙනවා. විදුලි වැට යොදන්නේ වනජීවී දෙපාර්තමේන්තුවේ වනාන්තර වල. ඒත් ඒ ඒ වනයේ අයිතිය කාටදැයි නොදන්නා අලියා හැම වන ගැබකම ඉන්නවා. එවැනි තත්වයක් යටතේ විදුලි වැට ගැසීමෙන් සිදු කෙරෙන්නේ අලි ගහනය බෙදා වෙන් කරනු ලැබීමයි’ පුබුදු වීරරත්න පෙන්වා දෙයි.

එම වන ලැහැබ් අතර මාරු වීම සඳහා ගම් වැදීමේදී යි, බොහෝ අලින්ට ජීවිත අහිමි වෙන්නේ.

ගත වූ දවස් හත ඇතුළත ශ්‍රී ලංකාවේ අලි ඇතුන් තුන් දෙනකුට ජීවිත අහිමි වූ අතර ඒවා ස්වාභාවික මරණ නොව වෙඩි තබා මර දමනු ලැබීම් වෙති.

එකම දළ ඇතුත් අහිමියි

හම්බන්තොට පළාතේ පසුගිය කාලය ඇතුළත ඇස ගැටුණ එකම දළ ඇතාත් පසුගිය සතියේ වෙඩි පහරින් මළවුන් අතරට එක් කෙරුණි .

වත්මන් ශ්‍රී ලාංකික අලි ඇතුන්ගේ අනාථභාවය සම්බන්ධයෙන් බීබීසිය සමඟ සාකච්ඡාවකට එක්‌ වූ පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන කියා සිටියේ සිය පාරම්පරික වාසභූමි අහිමි වූ අලි පරපුර ආහාර සොයා යාමේදී මෙන්ම වියලි කලාපයේ දැන් පවතින දැඩි නියඟය හමුවේ ජලය සොයා යාමේ දී තුවක්කු කරුවන්ට ගොදුරු වෙන බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර