ශ්‍රී ලාංකිකයන් කුර්දිස්තානයේ රහසිගත ස්ථානවල

Image caption එර්බිල් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පිරිසිඳු කිරීමේ සේවයේ නිරතව සිටි ශ්‍රී ලාංකිකයෝ

ඉරාකයේ කුර්දිස්තාන් ප්‍රාන්තයේ, යුද හමුදා බලපෑමට ලක්ව සිටි බව පැවැසෙන ශ්‍රී ලාංකිකයන් ගෙන් දස දෙනෙක් ආපසු ශ්‍රී ලංකාවට පැමිණෙති.

යුද වාතාවරණය හේතුවෙන් සමහරකු ආපසු රටට පැමිණෙන නමුත් ඇතැම් සේවා යෝජකයන් හමුදාව උපයෝගී කර ගෙන රටෙන් පිටවී යාමට උත්සාහ කරන අයට බාධා කරන බවත් හිරිහැර කරන බවත් ආපසු පැමිණි අය පවසති.

විශේෂයෙන් කුර්දිස්තාන් එර්බිල් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සේවය කල ශ්‍රී ලාංකිකයන්ද ඊට මුහුණ දී සිටිති.

37 දෙනෙකු රහස් ස්ථානයක රඳවා ගෙන සිටින බව, ආපසු පැමිණි නම සඳහන් කිරීමට අකමැති මඩකලපුවේ වාලක්කාලයි පදිංචිකරුවෙක් ප්‍රකාශ කළේය.

ඔවුන්ගෙන් සමහරෙක් මේ බව ශ්‍රී ලංකාවේ සිටින ඥාතීන්ට ද දැනුම් දී තිබිණ.

Image caption එර්බිල් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගබඩා අංශයේ සේවයේ නිරතව සිටි ශ්‍රී ලාංකිකයෝ

ශ්‍රී ලංකාවට පැමිණි දස දෙනා අතරින් කෙනෙකු වන මඩකලපුව වාලක්කාලයි පදිංචි 24 හැවිරිදි තරුණයෙකු කියා සිටියේ තමන් රැකියාව කල එර්බිල් ජාත්‍යන්තර ගුවන් තොටුපල යුද්ධය හේතුවෙන් වසා ඇතත් තම සේවා යෝජකයා එහි තවදුරටත් සේවය කරන මෙන් බලපෑම් කල බවයි.

ඊට අකමැති වූ අයට හමුදාව පාවිච්චි කරමින් පහර දීම,රහස් ස්ථානවල රඳවා තැබීම ආදී හිරිහැර සිදු කළ බවයි ඔහු කියා සිටියේ.

Image caption එර්බිල් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සේවය කල ශ්‍රී ලාංකිකයන්ගේ නවාතැන්

එර්බිල් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සේවය කල 300 ට වැඩි පිරිසෙන් 39 දෙනෙකු ආපසු තම රටට යාමට කැමැත්ත පල කලත් හමුදාව විසින් ඒ අයගේ නවාතැන් වටලා, මාංචු දමා, රහස් ස්ථානයක රඳවා ගෙන සිටි බව පැවසූ ඔහු තමන් ඇතුළු දස දෙනෙකු පමණක් ආපසු එවූ බව සඳහන් කළේය.

යුද්ධය හේතුවෙන් ඒ රටේ පවතින අනාරක්ෂිත තත්වය සැලකිල්ලට ගෙන , එහි රැකියාව කරන ශ්‍රී ලාංකිකයන් ආපසු ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු කළ යුතුය යන අපේක්ෂාව හා ඉල්ලීම ද රජයට ඉදිරිපත් කර සිටින ඔහු විශේෂ ගුවන් යානා යවා,ඉන්දියාව තම පුරවැසියන් ආපසු ගෙන්වා ගැනීමට පියවර ගෙන තිබූ බව සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර