සජිත් නියෝජ්‍ය නායක ?

17 අගෝස්තු 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 17:39 GMT

Image caption එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක

සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාගේ සක්‍රීය දායකත්වය ලබා ගත යුතු බවට දැඩි ඉල්ලීමක් බොහෝ පක්‍ෂ සාමාජිකයන්ගෙන් පවතින බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක පවසයි.

ඔහු මේ බව බීබීසියට කියා සිටියේ එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක තනතුරට සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා පත් කිරීමට යන බවට මාධ්‍ය වාර්තා පළ වෙමින් තිබියදී යි.

ඉදිරි ජනාධිපතිවරණයට මුහුණ දීම සඳහා පක්‍ෂය ශක්තිමත් කිරීමේ අරමුණින් පක්‍ෂ නායකත්වය මේ සඳහා එකඟත්වය පළ කර ඇති බවයි මාධ්‍යය සඳහන් කරන්නේ.

‘හැල හැප්පීම්’

අතීතයේ පැවති මතභේද සහ ‘හැල හැප්පීම්’ පසෙක ළා සියලු දෙනා එක් වන ලෙස නායක රනිල් වික්‍රමසිංහ විවෘත ආරාධනාවක් කර ඇති බවද තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා පැවසීය.

Image copyright photo sajithpremadasa.org
Image caption සජිත් ප්‍රේමදාස

‘මේ දක්වාම පක්‍ෂයේ නියෝජ්‍ය නායක තනතුරේ පුරප්පාඩුව සම්පුර්ණ කරලා නැහැ. අපිට දැන් විශේෂ කටයුතු කිහිපයක් කරන්නට තියෙනවා. ජනාධිපතිවරණයක ඉඟි දැන් පහළ වෙමින් තියෙනවා.’ මන්ත්‍රී තිස්ස අත්තනායක කියා සිටී.

චන්ද්‍රිකා

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ද රාජපක්ෂ පාලනය කෙරෙහි කනස්සල්ලකින් පසුවන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා ප්‍රකාශ කළේය.

‘මේ ආණ්ඩුව ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නේ නැහැ. ඒ නිසා එතුමියට හැඟීමක් ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගන්න උවමනායි කියල මේ පවුල් පාලනයෙන් ගලවලා.’ එජාප මහ ලේකම්වරයා පැවසීය.