ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ලංකාව: විදුලි ඒකකයක මිල වැඩිම රටක්

  • 2014 අගෝස්තු 18
Image caption 'බටහිර යුරෝපයේ ශ්‍රී ලංකාවට ඉහළින් සිටින්නේ ඉතාලිය පමණයි'

ශ්‍රී ලංකාවේ එක් විදුලි ඒකකයක මිල ඔස්ට්‍රේලියාව, සිංගප්පූරුව, කැනඩාව, ජර්මනිය සහ ප්‍රංශය වැනි රටවලටත් වඩා වැඩි බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය සිරිමල් අබේරත්න ප්‍රකාශ කරයි.

රාජ්‍ය ආයතනවල පවතින අකාර්යක්‍ෂමතාව සහ නව ප්‍රතිසංස්කරණ ඇති නොවීම නිසා ලංකාවේ ජනතාවට විදුලි බිල සඳහා අධික මුදලක් දරන්නට සිදු වී ඇති බවයි ඔහු පවසන්නේ.

'බර ජනතාවට'

බීබීසීයේ තිසර රතුවිතාන සමඟ සාකච්ඡාවකට එක් වෙමින් මහාචාර්ය සිරිමල් අබේරත්න තවදුරටත් කියා සිටියේ තමා සතු වාර්තාවට අනුව බටහිර යුරෝපයේ රටවල විදුලි ඒකකයක මිල ලැයිස්තු ගත කරද්දී ශ්‍රී ලංකාවට ඉහළින් සිටින්නේ ඉතාලිය පමණක් බවයි.

‘ප්‍රධාන වශයෙන්, රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය නොකිරීම නිසා ඒ බර ජනතාවට දරන්නට සිදු වෙලා තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් ඇතැම් රාජ්‍ය ආයතන වල අයිතිකරු කවුද යන්න ප්‍රශ්නයක්. ඒ නිසා ගන්නා තීරණ පිළිබඳව සියලු දෙනා වගකීමෙන් නිදහස් වෙලා තියෙනවා.’ මහාචාර්ය අබේරත්න පැවසීය.

අධිකාරිත්වය

තනි ආයතනයක අධිකාරිත්වය පැවතීම නීති ගත වන අයුරින් සැලසුම් සකස් කර තිබීම නිසා කෙතරම් මිල අධික වුවත් පාරිභෝගිකයාට ඊට එරෙහිව නැගී සිටීමට නොහැකි තත්වයක් උදා වී ඇති බවද ඔහු පවසයි.

මේ සඳහා වගකිය යුත්තේ කවුරුන්දැයි බීබීසීය ප්‍රශ්න කළ අවස්ථාවේ ඊට පිළිතුරු දෙමින් මහාචාර්ය අබේරත්න කියා සිටියේ ඊට දේශපාලනික කැමැත්ත සහ යොමු වීම අවශ්‍ය බවයි.