යාපනයේ සාමය හා ඉහළ යන සිය දිවි නසා ගැනීම්

  • 18 අගෝස්තු 2014
සෞඛ්‍ය අමාත්‍යාංශය සමග කටයුතු කර ඇති මහාචාර්ය දයා සෝමසුන්දරම්

යුද්ධය අවසන් වී සාමය එළඹීමෙන් පසු යාපනය අර්ධද්වීපය තුළ සිය දිවි හානි කර ගන්නා පිරිසේ වැඩි වීමක් දක්නට ඇති බව ඒ පිළිබඳ සමීක්ෂණයක් කළ මහාචාර්ය දයා සෝමසුන්දරම් පවසයි.

මහාචාර්යවරයාගේ සමීක්ෂණයට අනුව දෙදහස් පහ වසරේ සිට දෙදහස් නවය වසර දක්වා යුද්ධය පැවති කාල වකවානුවේ යාපනය අර්ධද්වීපය තුළ සිය දිවි හානි කර ගැනීමේ ප්‍රතිශතය ලක්ෂයකට විසි තුනක්.

මේ වන විට යුද්ධය අවසන් වී වසර කිහිපයක් ගතව ඇති අතර දෙදහස් දහතුන වසරේදී එම සංඛ්‍යාව ලක්ෂයකට විසිපහ දක්වා ඉහළ ගොස් ඇති බවයි මහාචාර්ය දයා සෝමසුන්දරම් ප්‍රකාශ කරන්නේ.

ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය මෙහය වූ පර්යේෂණ ගණනාවකට සහභාගී වී ඇති සෝමසුන්දරම් මහාචාර්යවරයා තවදුරටත් කියා සිටියේ යුද සමයේ සිදු වූ සිය දිවි හානි කර ගැනීම්වලට විශාල වශයෙන් බලපා ඇත්තේ එම වකවානුවේ සිදු වූ ඉවසා ගත නොහැකි මට්ටමේ හමුදා ක්‍රියාකාරකම් බවයි.

ව්‍යාකූලභාවය

මේ මොහොත වන විට යුද්ධය අවසන් වී ඇතත් යාපනයේ සිය දිවි හානිකර ගැනීම් වැඩි වීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ ඔවුන්ගේ ආර්ථික ස්ථාවරභාවය කඩා වැටීම සහ සමාජීය තත්ත්වය ව්‍යාකූලභාවයට පත් වී තිබීම යැයි මහාචාර්යවරයා පවසයි.

යුද්ධයේදී තම දරුවන් ඇතුළු ඥාතීන් මිය යාම හා අතුරුදහන් වීම, දේපළ විනාශ වීම යන කරුණු නිසා යාපනයේ වැසියන් තුළ ඇති වූ ඉච්ඡාභංගත්වයද සියදි වි හානි කර ගැනීමට බලපා ඇති බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.

ඈත අතීතයේ පටන් දෙමළ සංස්කෘතිය තුල පවුල් වශයෙන් එකට විසීමට තිබූ රුචිකත්වය බිඳ වැටීමද මීට හේතු වී ඇති බවත් මහාචාර්යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

යුද්ධයට මැදිව

යුද්ධයට මැදි වීමෙන් සිය පවුලේ සාමාජිකයන් විශාල වශයෙන් මරණයට පත් වීමත් තවත් බොහෝ දෙනා පවුලෙන් වෙන් වී විසිර යාමත් යාපනයේ වැසියන් තනි වීමට හේතු වී ඇති බව සමීක්ෂණ මගින් නිගමනය කළේ යැයි දයා සෝමසුන්දරම් මහාචාර්යවරයා කියා සිටියි.

යාපනය හා ඒ අවට ප්‍රදේශයේ මේ වන විට ඉතා සීඝ්‍ර සංවර්ධනයක් දක්නට ලැබෙන නමුත් එම සංවර්ධනය භෞතික සංවර්ධනයක් මිස මිනිසුන්ගේ මානසික සෞඛ්‍ය දියුණු වී සිත් තුලට සන්තෝෂය රැගෙන එන අන්දමේ සංවර්ධනයක් නොවෙන බැවින් යාපනයේ වැසියන් දිනෙන් දිනම මානසික ආතතියට පත් වන බව මහාචාර්යවරයා සඳහන් කරයි.

මෙම අසහනකාරී තත්ත්වය හේතුවෙන් යාපනයේ වැසියන් තවදුරටත් සිය දිවි හානි කර ගැනීම කෙරෙහි වැඩි වශයෙන් යොමු විය හැකි බව මහාචාර්ය දයා සෝමසුන්දරම් අවධාරණයෙන් කියා සිටියි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර