නියඟයෙන් පීඩා විඳි ප්‍රදේශවලට වැසි

Image caption පුත්තලමට ඇද හැලුණු අධික වැසි නිසා කඩා වැටුණු ගස්

මීගමුව සහ කටුනායක ප්‍රදේශවලට වැඩිම වර්ෂාපතනයක් වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නියඟයෙන් පීඩා විඳි අනුරාධපුර, ත්‍රිකුණාමලය, පුත්තලම, පොලොන්නරුව, බදුල්ල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට ද ඊයේ රාත්‍රියේ (බ්‍රහස්පතින්දා) වැසි ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතරතුර ඊයේ (21) රාත්‍රියේ සිට ඇද හැලෙන වර්ෂාව හා සුළං හේතුවෙන් හලාවත ප්‍රදේශයේ මාර්ග රැසකට ගස් කඩා වැටීම හේතුවෙන් ගමනා ගමන කටයුතු වලව බාධා සිදු වී තිබේ.

හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ මැරවල දී මාර්ගයට ගස් කඩා වැටීම නිසා ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බාධා සිදු වූ අතර විකල්ප මාර්ග භාවිතා කිරීමට සිදු විණි.

සුළං සමග වර්ෂාව හේතුවෙන් ධීවර කටයුතු වලට ද බාධා සිදු වූ අතර ධීවරයෝ වැඩි පිරිසක් මුහුදු යාමෙන් වැළකී සිටියෝය.

මේ අතර අධික වර්ෂාව හේතුවෙන් වර්ෂා ජලය එක් රැස් වී හලාවත නිවාස කීපයක් ද ජලයෙන් යට විණි.

හලාවත මැරවල ප්‍රදේශයේ කුඹුරු අක්කර රැසක් ද ජලයෙන් යට වී ඇත.

මෙම වැසි සහිත කාලගුණය ඉදිරි දින කිහිපය තුලද පැවතිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර