ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඉන්දියාව අත පොවන්නේ ආණ්ඩුවේ වරදින් -වික්ටර් අයිවන්

Image copyright Victor Ivan

ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නයට යළිත් වරක් අත පෙවිය හැකි වාතාවරණයක් ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ම ඉන්දියාවට සකසා දී ඇති බව දේශපාලන විචාරක වික්ටර් අයිවන් පවසයි.

ඔහු මේ බව කියා සිටියේ දෙමළ ජාතික සන්ධානය ඉන්දියාවට ගොස් අගමැති නරේන්ද්‍ර මෝදි හමු වීම ගැන සිය අදහස් පළ කරමින්.

ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම තුළින් දෙමළ ජනතාව සමඟ බලය බෙදා ගැනීමේ රාමුව තුළ සිට කටයුතු කළ යුතු බවට ඉන්දීය අගමැතිවරයා එහිදී යළිත් වරක් අවධාරණය කර තිබේ.

හිඩැස

යුද්ධයේදී පරාජය කරනු ලැබුවේ විදේශීය හමුදාවක් නොවන බව හොඳින් තේරුම් ගත යුතුව තිබූ බව වික්ටර් අයිවන් පැවසීය.

‘එල්ටීටීඊ ය යුදමය වශයෙන් පරාජය කිරීම නිවැරදියි. නමුත් එය අපේම රටේ වෙනත් ජන වර්ගයක කොල්ලන් කෙල්ලන් කළ කැරැල්ලක්. සිංහල සමාජයේත් දෙවතාවක් එවැනි කැරලි හට ගත්තා. එය තේරුම් නොගැනීම නිසා ඒ හිඩැස පිර වූයේ සාම්ප්‍රදායික දෙමළ දේශපාලකයන්.’ බීබීසීයේ තිසර රතුවිතාන සමඟ සාකච්ඡාවකට එක් වෙමින් වික්ටර් අයිවන් ප්‍රකාශ කළේය.

'බිත්තියට හිර කිරීම'

යුද්ධයෙන් පසු ‘කිසිදා නොවූ විරූ ලෙස මට සිලිටු බවක් පෙන් වූ’ දෙමල දේශපාලකයන් ‘බිත්තියට හිර කිරීමේ’ ප්‍රතිපත්තියක් ආණ්ඩුව ක්‍රියාත්මක කළ නිසා ඉන්දියාවට යළිත් වරක් මැදිහත් විය හැකි තත්වයක් ඇති වී ඇති බවයි ඔහු පවසන්නේ.

‘මේ දෙමළ නායකයන් දෙපැත්තෙන්ම බට කෑ අය. යුද්දෙන් පස්සේ ඔවුන් මට සිලිටු වුනා. කවදාවත් නැතුව ඔවුන් පළමු වතාවට අපේ ජාතික ගීය ඔවුන් ගේ පක්ෂ සමුළුවක ගායනා කළා. ආණ්ඩුව මොවුන් බිත්තියට හිර කිරීමේ ප්‍රතිපත්තියක් ගෙන ගියා. ඒ නිසා ආයෙත් අත පෙවිය හැකි තත්වයක් ඉන්දියාවට හදල දීල තියෙනවා.’ මාධ්‍යවේදී වික්ටර් අයිවන් තවදුරටත් පැවසීය.

හඬ පටයට සවන් දෙන්න.