ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

නීතිඥ සංගම් සභාපතිවරයාට ‘ආරක්ෂාව අනවශ්‍යයි’

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරියගේ පෞද්ගලික ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් යෙදවීම අනවශ්‍ය බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම්වරයා අධිකරණයට දැනුම් දෙයි.

අමාත්‍යංශ ලේකම්වරයා නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මාර්ගයෙන් කොළඹ මහේස්ත්‍රාත්වරයා හමුවේ දැනුම් දී සිටියේ නීතිවේදි උපුල් ජයසූරියට ප්‍රබල තර්ජනයක් නොමැති බව රාජ්‍ය බුද්ධි සේවා සිදු කල පරීක්ෂණයක දී අනාවරණය වී ඇති බවයි.

විරෝධය

නමුත් ලේකම්වරයාගේ එම ඉල්ලීමට උපුල් ජයසූරිය වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීහු විරෝධය පළ කළහ.

සිය සංගමයේ සභාපතිවරයාට පවතින ජීවිත තර්ජනය මේ වන තුරුත් පහව ගොස් නොමැති බවයි ශ්‍රී ලංකා නීතිවේදීන්ගේ සංගමයේ ලේකම් නීතිඥ අජිත් පතිරණ කියා සිටියේ.

එහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා දක්වා ඇති කරුණු පිළිබඳ සෑහීමකට පත් වන බවයි.

අධිකරණයේ බලය

පොලිස් නිලධාරීන් ලබා දෙන මෙන් නියෝග නිකුත් කිරීමට තමන්ට බලයක් නොමැති බව පැවසූ මහේස්ත්‍රාත්වරයා, උපුල් ජයසූරිය නීතිඥ සංගමයේ සභාපතිවරයාගේ නිවස හා කාර්යාලය අවට මෙතෙක් සපයා ඇති ආරක්ෂාව අඛණ්ඩව ලබා දෙන මෙන් ද පොලිසියට දැනුම් දුන්නේය.

නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මේ සම්බන්ධයෙන් මාධ්‍යවලට අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළේය.

නඩු විභාගය ඔක්තෝබර් විසි වනදාට කල් තැබූ අධිකරණය, එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් පොලිසියට නියම කළේය.