ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

වඳුරන්ගෙන් එල්ලවන පීඩා මැඩලීමට තුවක්කු?

මඩකලපුව කාතන්කුඩි නගර සභාව, පළාතේ ජනතාවට වඳුරන්ගෙන් එල්ලවී ඇති පීඩාකාරී තර්ජනයක් හේතුවෙන් එම තත්වය මැඩලීමේ පියවරක් වශයෙන් තුවක්කු පාවිච්චි කිරීමට රජයෙන් අවසර පතයි.

මේ වනවිට පළාතේ ළමුන් පනස් දෙනකු පමණ වඳුරන් විසින් හපා කා ඇති බවයි මේ පිළිබඳව විමසුමක් කරන අප වාර්තාකාරිය ශාන්ති සෙල්ලදොරේ පවසන්නේ.

භෝග විනාශය

මේ වසරේදී වඳුරන්ගෙන් එල්ල කෙරෙන පීඩාව වැඩිවී ඇති බව පවසන කාතන්කුඩි නගර සභාවේ සභාපති එච්.අස්වර්, ළමුන් ඇතුළු පුද්ගලයන් 72 කු වඳුරන් විසින් සපා කා ඇති බව ප්‍රකාශ කළේය.

මේ සතුන්ගෙන් වගාවන්ට හානි සිදුවන බව පවසන ඔහු පොල් ඇතුළු වෙනත් භෝග වඳුරන් විසින් විනාශ කර දමන බවයි පැවසුවේ.

ළමුන් පාසල් යාමට බියක් දක්වන බවත් වැඩිහිටියන් පවා තනිව නිවෙස්වල රැඳී සිටීමට බිය පල කරන බවත් නගර සභාවේ සභාපතිවරයා පැවසුවේය.

නිවෙස්වලට ඇතුල්වන වඳුරන් ආහාර ද්‍රව්‍ය සහ පිසූ ආහාර පවා කා දමන බවයි ඔහු කියා සිටින්නේ.

විසඳුම

ප්‍රාදේශීය ලේකම්, දිශා ලේකම් සහ පොලීසියේ ඉහල නිලධාරීන්ගේ නිර්දේශ ඇතිව තුවක්කු භාවිතයට අවසර පතා ආරක්ෂක ලේකම්වරයාට ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට තීරණය කළ බව කාතන්කුඩි නගර සභාවේ සභාපති එච්.අස්වර් ප්‍රකාශ කළේය.

හිටපු ග්‍රමාරක්ෂක නිලධාරීන්ට තුවක්කු පාවිච්චි කිරීමේ පුහුණුවක් ඇති නිසා ඔවුන් එම කාර්යයට යොදවා ගත හැකි බවයි සභාපතිවරයා කියා සිටියේ.

වඳුරන්ගෙන් එල්ලවන තර්ජනය වෙඩි තැබීමෙන් විසඳා ගත හැකිද? පොලොන්නරුව ප්‍රයිමේටා ව්‍යාපෘතියේ පර්යේෂණ සම්බන්ධීකාරක සුනිල් ගුණතිලක පැවසුවේ එය විසඳුමක් නොවන බවයි.