ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

තම්පෝ: පීඩිතයන් වෙනුවෙන් කැපවූ නායකයා

ශ්‍රී ලංකා වෘත්තීය සමිති ව්‍යාපාරයේ දැවැන්ත නායකයකු වූ බාලා තම්පෝ සඳුදා සිය දිවියෙන් සමු ගත්තේය.

ලංකා සමසමාජ පක්ෂයෙන් දේශපලානය අරඹා දශක හත්කකට ආසන්න කාලයක් වෘතීය සහ පීඩිත පන්තියේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කල ඔහු සමු ගන්නේ අනූ දෙහැවිරිදි වියේදී.

නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න බාලා තම්පෝ හඳුන්වා දෙන්නේ, සිය ආත්ම ගෞරවය පාවා නොදුන් නිර්ධන පන්ති නායකයකු ලෙසින්.

ඔහු දියත් කළ වෘත්තීය අරගල දශක ගණනාවක් මුළුල්ලේ වාර්තා කළ එල්මෝ ප්‍රනාන්දු බාලා තම්පෝ වෙනුවෙන් පුදන ප්‍රණාමයයි, මේ.

Image copyright Bala Tampoe

වෘත්තීය සමිති නායකයකු ලෙසින් පමණක් නොව සමාජ ක්‍රියාධරයෙකු ලෙසින් දශක හය හතක පමණ කාලයක් වෘත්තීය ජීවිතය පමණක් නොව තම පෞද්ගලික ජීවිතය කැප කළ මිනිසෙක් බාලා තම්පෝ.

වසර විස්සක් පුරාම සංදේශයට මැයි දිනය වාර්තා කිරීමට ගිය මට ඔහු මුණ ගැසුනේ කම්කරු අයිතීන් දිනා දීම සඳහා කැපවූ නිහතමානී මිනිසකු විලසින්.

තම මැයි දින පෙළපාලිය අරලිය ගහ මන්දිරය පෙනෙන තෙක් මානයේ සිට මෙහෙයවන බාල තම්පෝ මේ දක්වා ශ්‍රී ලංකාවේ සිටි සෑම රාජ්‍ය නායකයෙකුටම කළ අභියෝගය සුළු පටු නොවේ.

මැයි දිනය පෙළපාලියේ පෙරමුණ ගෙන ලංකා වෙළඳ සංගමය යනුවෙන් කලින් හැඳින්වූ දැන් ලංකා වෙළඳ කාර්මික සහ පොදු කම්කරු සංගමය වශයෙන් හඳුන්වනු ලබන වෘත්තීය සංගමයේ සාමාජිකයන් පාලකයන්ට එරෙහිව පෙළ ගැස්වුයේ තම වෘත්තීය සමිති ව්‍යාපාරය සටන් පාඨ වලට පමණක් සීමා නොකරමින්.

එදා මෝදු වූ කම්කරු අර්බුද අද මහමෙරක් සේ වැඩී ඇති අයුරු මාධ්‍යවේදීන් හමුවේ අනාවරණය කළේ ඊළඟ මැතිවරණය සඳහා ඡන්දය එකතු කිරීමේ මල්ල අතැතිව නොව දුක් විඳින පීඩිත වැඩ කරන ජනතාවට යමක් දිනා දීමේ අවංක පරමාර්ථය පෙරටු කර ගෙනයි.

එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය, මා කළ විමසීමකදී බාලා තම්පෝ හඳුන්වා දුන්නේ වරප්‍රසාද වලට සිය කම්කරු ව්‍යාපාරයේ නායකත්වය පාවා නොදුන් පුද්ගලයකු ලෙසින්.

තම්පෝ ජාත්‍යන්තර තලයේ පිළිගත් වෘත්තීය සමිති නායකයෙකු බවත් සිරිතුංග ජයසූරිය පෙන්වා දුන්නේය.

වෘත්තීය සමිති නායකයෙකුගේ සීමා මායිම් බිඳගෙන සමස්ත ජනතාවගේ යහපත සහ පොදු අයිතිවාසිකම් වෙනුවෙන් ඔහු කළ සටන ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් කෘතවේදීව සිහිපත් කළේය.

පන්ති සටන අනුගමනය කිරීමේ මූලධර්මයෙහි පිහිටා කම්කරු අයිතීන් දිනා ගත හැකියි යන විශ්වාසයෙන් බාල තම්පෝ නමැති මේ දැවැන්ත වෘත්තීය සමිති නායකයා ජනතාවට සේවය කළ බවත් එක්සත් සමාජවාදී පක්ෂයේ නායකයා පවසයි.