රෝගියකු රොහලේදී මරා දැමීම 'ඛේදජනක තත්වයක්'

Image caption 'රෝගියකු රෝහලේදී මරා දමන්නේ නම් එය ඛේදජනකයි'

වෛද්‍ය වෘත්තිය සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳව ජනතාව තුල විශ්වාසයක් ඇති කළ යුතු බවත්, ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගියකු රෝහලේදී මරා දමන්නේ නම් එය ඛේදජනක තත්වයක් බවත් මීගමුව රෝහලේදී තරුණියක් දූෂණය කොට ඝාතනය කිරීම පිළිබඳ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා පැවසීය.

මීගමුව මහාධිකරණ විනිසුරු එච්එම්ඒ ගෆුර් ඒ බව කියා සිටියේ චමිලා දිසානායක තරුණිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් චුදිත ඉන්දික සුදර්ශන බාලගේ වෛද්‍යවරයාට මරණ දඬුවම නියම කරමින්.

"කටාන ස්මාර්ට් ෂර්ට්" ඇගළුම් කම්හලේ සේවිකාවක වූ චමිලා දිසානායක 2007 නොවැම්බර් 12 වැනි දින මිගමුව රෝහලේදී දුෂණය කර 06 වන මහලෙන් බිමට තල්ලු කර මරා දැමීමේ චෝදනාවට වෛද්‍ය බාලගේ වැරදිකරු බව අධිකරණය තීන්දු කළේය.

චමිලාගේ දෙමාපියන්, කටුනායක නිදහස් වෙළඳ කලාපයේ වෘත්තිය සමිති නායකයන් සහ සාමාජිකයන් රැසක්ද අධිකරණයට රැස් වී සිටියහ.

තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර යමක් කීමට තිබෙන්නේ දැයි අධිකරණය විමසීමක් කළ අවස්ථාවේ අදහස් දැක්වූ විත්තිකාර ඉන්දික සුදර්ශන බාලගේ වෛද්‍යවරයා, මියගිය චමිලා දිසානායකට මෙන්ම තමන්ටත් මහාධිකරණයෙන් සාධාරණයක් වේ යැයි තමන් අපේක්ෂා කළ බව කියා සිටියේය.

වැරදිකරුවන් මිගමුව රෝහල තුළ සිටින බව සඳහන් කළ වෛද්‍යවරයා, ඔවුන්ටත් දඩුවම් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

තීන්දුව පිළිබඳව ප්‍රතිචාරය පළ කළ චමිලා දිසානායකගේ දෙමාපියෝ චමිලාට සාධාරණයක් සිදු වූ බව සඳහන් කළහ. එයට දායක වූ සිය ස්තුතුය හිමි වන බවද ඔවුහු පැවසූහ.