ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ආසියානු යොවුන් කුසලාන 'හම්බන්තොට සහ කොළඹ'

හම්බන්තොට අලුතින් ක්‍රීඩාංගණ ඉදිකිරීමට 'කාලය මදි' බැවින් ආසියානු යොවුන් කුසලාන කොළඹ සහ හම්බන්තොට ඒකාබද්ධව පැවැත්වීමට අනුමැතිය පළ වූ බව ක්‍රීඩා ඇමතිවරයා පවසයි.

තමන් මුහුණ දෙමින් සිටින ගැටළු පිළිබඳව කුවේටයේ සංචාරයක යෙදුන ශ්‍රී ලංකා දූත කණ්ඩායම ආසියානු ඔලිම්පික් මණ්ඩලයේ සභාපතිවරයා වන කුවේටයේ රජතුමාට විස්තර කළ බවයි, අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ බීබීසී සංදේශය කළ විමසීමකදී කියා සිටියේ.

Image copyright ocasia.org
Image caption යොවුන් ක්‍රීඩා ශූරතාවලිය කටාරයේ ඩෝහා නගරයට පැවරීමේ 'සූදානමක් නෑ'

"එතුමා අතිගරු ජනාධිපතිතුමාට තියෙන ගෞරවය නිසා මේ තරඟාවලිය අනිවාර්යයෙන් ලබා දෙන බව එතුමා කිවුව. ඒ අනුව කිසි ගැටලුවන් නෑ ඒ තරඟාවලිය අපි කරනවා," යනුවෙන්ද ඇමතිවරයා සඳහන් කළේය.

නව එකඟත්වයට අනුව දියගම සහ සුගතදාස ක්‍රීඩාංගනද තරඟාවලිය වෙනුවෙන් භාවිත කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍ය අලුත්ගමගේ කියා සිටියේ, සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.

ඇමතිවරයාගේ ප්‍රකාශය පිළිබඳව ආසියානු ඔලිම්පික් මණ්ඩලයේ ප්‍රතිචාරය ලබා ගැනීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

ඩිල්ශාන්: 'පුද්ගලික ප්‍රශ්නයක්'

හම්බන්තොට පැවැත්වීමට නියමිත ආසියානු යොවුන් ක්‍රීඩා ශූරතාවලිය කටාරයේ ඩෝහා නගරයට පැවරීමට ආසියානු ඔලිම්පික් මණ්ඩලය තීරණය කොට ඇති බව මීට ඉහතදී ජනමාධ්‍ය වාර්තා කොට තිබුණි.

Image caption 'බියගම සහ සුගතදාස ක්‍රීඩාංගන භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා'

එහෙත් එම වාර්තා ප්‍රතික්ෂේප කළ ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ ආසියානු ක්‍රීඩා අංශයේ අධ්‍යක්ෂ ජනරාල් හයිදර් ෆාර්මන්, ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ නියෝජිත පිරිසක් ඉතා ඉක්මනින්ම ශ්‍රී ලංකා ක්‍රීඩා බලධාරීන් හමුවීමට නියමිත අතර, ශ්‍රී ලංකා ක්‍රීඩා බලධාරීන් එහිදී තමන්ට වාර්තාවක් ලබා දෙනු ඇති බව සංදේශයට පැවසීය.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරක පිතිකරු තිලකරත්න ඩිල්ශාන් ඉස්ලාම් දහම අත්හැර බුදු දහම වැළඳ ගැනීම පාකිස්තාන කණ්ඩායමේ අහමඩ් ෂෙහ්සාඩ්ගේ විවේචනයට ලක්වීම පිළිබඳව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩා බලධාරීන් බලාපොරොත්තු නොවන බවද අමාත්‍ය අලුත්ගමගේ සඳහන් කළේය.

"ඒක එතුමාලගේ පුද්ගලික ප්‍රශ්නයක්. මේ පිළිබඳ කවුරුවත් පැමිණිල්ලක් කරලත් නැහැ. ඒ නිසා දැනට ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ," යනුවෙන්ද ඔහු පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජීවන් මෙන්ඩිස් ආසියානු කුසලානයට නම් කොට තිබියදී ඔහු විදේශීය තරන්ගාවලියකට නිදහස් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වාට එරෙහිව පරීක්ෂණයක්‌ පවත්වන මෙන් නියෝග කොට තිබෙන බවත් අමාත්‍ය අලුත්ගමගේ තහවුරු කළේය.