රහස් ඔතුකරුවන් ලුහුබඳිනවා: උතුරේ මහ ඇමති

Image copyright AFP

රජයේ රහස් ඔත්තු සේවා සාමජිකයින් තමන් පසුපස ලුහුබඳිමින් තොරතුරු සොයන බව උතුරු පළාතේ මහ ඇමති සීවී විග්නේෂ්වරන් පවසයි.

ජර්මානු තානාපතිවරයා සිකුරාදා දහවල් යාපනයේදී තමන් මුණගැසුණු අවස්ථාවේදීත් මාධ්‍යවේදීන් ලෙස පෙනී සිටිමින් රජයේ රහස් ඔත්තු සේවා නිලධාරීන් කිහිප දෙනෙකුම තමන්ගේ ඡායාරෑප ගත් බව ප්‍රධාන අමාත්‍යවරයා පැවසීය.

ඒ බව තමන් ජර්මන් තානාපතිවරයාට පැමිණිලි කළ බව සඳහන් කළ මහ ඇමතිවරයා, කිසියම් සැකසහිත පිරිසක් තමාගේද ඡායාරෑප ගත් බව එවිට තානාපතිවරයා කියා සිටි බවත් පැවසීය.

ඊශ්‍රායලයේ නවීන යුද ක්‍රමෝපායන්ට අනුව පුද්ගලයෙකුගේ ශරීරයේ බාහිර අවයව සහ පිහිටීම පිළිබඳව අධ්‍යයනය කොට ඔහු ගැන තොරතුරු සටහන් කරගැනීම තුලින් බොහෝ දේ ඔවුන් ඉටු කරගන්නා බව කී ප්‍රධාන අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ රහස් ඔත්තු කරුවන් යොදවාගෙන මේ අවස්ථාවේදී සිදු කරන්නේ එවැනිම ක්‍රියාවක් විය හැකි යැයිද පැවසීය.

මේ තත්වය තමන්ගේ ජීවිත ආරක්ෂාවට තර්ජනයක් වුවත් තමන් ඊට නොබියව මුහුණ දෙන බව පවසන උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මේ අවස්ථාවේදී මෙවැනි දේ සිදුවන්නේ තමන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීමට සූදානම් වීම නිසා යැයි සැකකරණ බවද පැවසීය.

එවැනි හමුවීමක් සඳහා ආණ්ඩුවේ අනුමැතිය ලබා ගත යුතු බව රටේ නීතියේ සඳහන් වන්නේ නම්, නීතියට ගරු කරන පුරවැසියකු ලෙසින් එසේ අනුමැතිය ලබා ගැනීමට තමා මැලි නොවන බව මහ ඇමතිවරයා පැවසීය.

එහෙත් තමා දන්නා තරමින් ශ්‍රී ලංකාවේ එවැනි නීතියක් ශ්‍රී ලංකාවේ නොමැති බවයි, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සීවී විග්නේශ්වරන් පවසන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර