ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ශ්‍රී ලංකාව ආගමික ගැටුම් 'පාලනය කළා'

ශ්‍රී ලංකාවේ විවිධ ආගමික කණ්ඩායම් අතර හට ගන්නා ගැටුම් පාලනය කිරීමට ආණ්ඩුව සමත් වී ඇතැයි කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා පවසයි.

අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ, ශ්‍රී ලංකාවේ සුළුතර ආගමික කොටස්වලට එරෙහිව ප්‍රහාර එල්ල වන බවට මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ නව මහකොමසාරිස්වරයා කරන ප්‍රකාශය පිළිබඳව ප්‍රතිචාරය පළ කරමින්.

Image copyright AP
Image caption මුස්ලිම් කොන්ග්‍රසයේ වාර්තාව 'දේශපාලන කතාවක්'

සඳුදා ආරම්භ වන මානව හිමිකම් මණ්ඩලයේ 27 වැනි සැසිවාරයේදී නව මහකොමසාරිස් සයීඩ් අල් හුසේන් කුමරු ඉදිරිපත් කිරීමට නියමිත නිවේදනය ජනමාධ්‍ය විසින් දැනටම ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මුස්ලිම් සහ ක්‍රිස්තියානි ආගමික කණ්ඩායම්වලට එල්ල වන ප්‍රචණ්ඩක්‍රියා තමන් හෙලා දකින බවයි, මහ කොමසාරිස්වරයාගේ එම ප්‍රකාශයේ දැක්වෙන්නේ.

අලුත්ගම ගැටුම

එහෙත් විවිධ ආගමික කණ්ඩායම් අතර ගැටුම් හට ගැනීම සාමාන්‍ය තත්වයක් බව බීබීසී සංදේශය කළ විමසීමකදී සඳහන් කළ අමාත්‍ය රඹුක්වැල්ල, ශ්‍රී ලංකාවේ එවැනි ගැටුම් පාලනය කිරීමට ආණ්ඩුව සමත්වූ බව අවධාරණය කළේය.

විශේෂයෙන්ම අලුත්ගම ගැටුම පාලනය කිරීමට අපොහොසත්වූ බවටත්, බොහෝ සැකකරුවන් අත්අඩංගුවට නොගන්නා බවටත් චෝදනා එල්ල වන්නේ නොවේදැයි විමසූ අවස්ථාවේ ඇමතිවරයා සඳහන් කළේ ඒ අවස්ථාවේ 83 කලු ජූලිය වැනි ගැටුමක් හට නොගත්තේ ආණ්ඩුව ගැටුම පාලනය කළ නිසා බවයි.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් දේවස්ථාන සිය ගණනකට මෑත යුගයේදී ප්‍රහාර එල්ල වූ බව සඳහන් කරමින්, අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය විසින් එක්සත් ජාතීන්ට භාර දී තිබෙන වාර්තාව පිළිබඳව සඳහන් කළ අවස්ථාවේ 'එය දේශපාලන කතාවක්' බවයි, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ.

ශ්‍රී ලංකාව සම්බන්ධ යුද අපරාධ පරීක්ෂණයට ශ්‍රී ලංකාව සහාය දෙනු ඇතැයි බලාපොරොත්තු වන බව සිය ප්‍රකාශණයේ සඳහන් කරන නව මහකොමසාරිස්වරයා, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියාධරයන්ට එරෙහිව එල්ල වන තරජන පිළිබඳව බරපතල අවධානය පළ කොට තිබේ.

සයීඩ් අල් හුසේන් කුමරු සමඟ සුහදව කටයුතු කිරීමට ආණ්ඩුව සූදානම් බව පවසන අමාත්‍ය රඹුක්වැල්ල, යුද අපරාධ පරීක්ෂණයට සහාය දෙන බවක් එයින් අදහස් නොවන බවද සංදේශයට කියා සිටියේය.