ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ජනාධිපතිට තරඟ කරන්න පුළුවන්: බැටී වීරකෝන්

ජනාධිපති මහින්ද රාජපක්ෂට තුන්වැනි වරටත් ජනාධිපති ධුරය සඳහා තරඟ කළ නොහැකි බවට පවතින තර්ක තමන් පිළිනොගන්නා බව හිටපු අධිකරණ අමාත්‍ය, ‍‍‍ජ්‍යෙෂ්ඨ නීතිඥ බැටී වීරකෝන් ප්‍රකාශ කරයි.

වත්මන් ව්‍යවස්ථාවට අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂට අවශ්‍ය නම් තුන්වැනි වරටත් තරඟ කළ හැකි බවයි ඔහු පවසන්නේ.

"සමහරු කියනවා, ඔහුට නැවත තරඟ කරන්න බැහැ කියලා, ඒ මතය වැරදියි," යනුවෙන් ඔහු පැවසීය.

දෙවරකට වැඩි වාර ගණනක් ජනාධිපති ධුරය දැරීම වළක්වාලමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා තිබූ විධිවිධාන 18 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ඉවත් කරන විට ජනාධිපති මහින්ද රාජපක්ෂ දෙවැනි වරටත් තේරී පත්වී සිටි බැවින් තුන්වැනි වරට තරඟ කිරීමේ අවස්ථාව ඔහුට අහිමිවන බව හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා පසුගියදා සංදේශයට කියා සිටියේය.

එහෙත් එවැනි බාධාවක් තිබේ නම් ජනාධිපතිවරයාට සිය පාර්ලිමේන්තු බලය යොදා ගෙන නැවත ව්‍යවස්ථාව වෙනස් කළ හැකි බව හිටපු අමාත්‍ය බැටී වීරකෝන් පැවසීය.

'විකෘති ක්‍රමයක්'

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ තිබෙන්නේ විකෘති ජනාධිපති ක්‍රමයක් බව පැවසූ හිටපු අමාත්‍යවරයා, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මාදුළුවාවේ සෝභිත හිමියන් ගෙන යන වැඩපිළිවෙලට තම සහය හිමිවන බවත් සඳහන් කළේය.

"අසීමිත නෙවෙයි කොහේවත් නැති බලතල මේකේ තියෙන්නේ. ඒකාධිපති රටවල පාර්ලිමේන්තු ක්‍රම කැබිනට් ක්‍රම නැහැනේ? මෙහෙ ඔක්කොම තියෙනවා, හැබැයි මේ එකකටවත් බලයක් නැහැ මෙයාගේ තීන්දුවෙන් එහාට යන්න," යනුවෙන්ද හිටපු ඇමතිවරයා සඳහන් කළේය.

"මට තියෙන ප්‍රශ්නය මේ විධායක ජනාධිපති ක්‍රමය වහාම ඉවත් කළ යුතුයි. නැතිව මේ එක එක්කෙනාට අවස්ථාව ලබාදෙන්න නෙමෙයි තරඟ කරන්න."

මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී රජයේ ප්‍රකාශක ආමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ, ජනාධිපතිවරයාට තුන්වැනි වරට තරඟ කළ හැකිය යන්න රජයේ මතය බවයි. කිසිවකු එය අභියෝගයට ලක් කරන්නේ නම් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරුණු විමසීමට රජය සූදානම් බවද ඔහු පැවසීය.

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් 'විමසන්න බෑ'

ඒ පිළිබඳව සංදේශයට අදහස් දැක්වූ හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා, නැවත තරඟ කළ හැකිද, නොහැකිද යන්න පිළිබඳව ජනාධිපතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසිය නොහැකි බවයි.

ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසිය හැක්කේ පොදු වැදගත්කමකින් යුතු කරුණු සම්බන්ධයෙන් පමණක් බවද ඔහු පැවසීය.

"නුසුදුස්සෙක් වෙලා තියෙන්නේ ජනාධිපති නෙමෙයි. මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයයි. ඉතින් ඒ පුද්ගලයා සුදුස්සෙක්ද නුසුදුස්සෙක්ද කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසන්න ව්‍යවස්ථාවේ කිසිම ඉඩකඩක් නැහැ,"යනුවෙන් සරත් සිල්වා හිටපු අගවිනිසුරුවරයා පැවසීය.

නැවත ව්‍යවස්ථාව වෙනස් කළද ජනාධිපති මහින්ද රාජපක්ෂට නැවත තරඟ කළ නොහැකි බවට ඇති නුසුදුසුකම කිසිසේත්ම ඉවත් නොවන බව හිටපු අගවිනිසුරුවරයා අවධාරණය කරයි.

මින් පෙර ජනාධිපතිවරුන් සිය නිල කාලය අවසන් වූ පසු ඉවත්ව ගිය ආකාරයට ජනාධිපති මහින්ද රාජපක්ෂද ධුර කාල දෙක අවසානයේ ඉවත්ව යායුතු බව ඔහු වැඩිදුරටත් පැවසීය.