ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ජපාන ආයෝජන ශ්‍රී ලංකාවට වාසියි: හර්ෂ

ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් දියුණු කිරීම වෙනුවෙන් ආයෝජනය කිරීමට ජපානය ඉදිරිපත්වීම ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාවට විශාල වාසියක් බව ආර්ථික විශ්ලේෂක ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේ ජපාන අගමැති ෂින්සෝ අබේගේ එක් දින ශ්‍රී ලංකා සංචාරයේදී ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් දියුනි කිරීම වෙනුවෙන් ආයෝජනය කිරීමට එකඟ වීම පිළිබඳව බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.

"උදාහරණයක් වශයෙන් මේ අවුරුද්දේ හම්බන්තොට සහ මත්තල ආශ්‍රිතව චීන ණයවලින් ඉදි කළ තෙල් ගබඩා සඳහා අපි 6.5% ක ණයක් ගත්තේ," යනුවෙන් ඔහු සඳහන් කළේය.

Image copyright Reuters
Image caption ජපානය ආයෝජන කරන්නේ 'චීන බලපෑම නිසා නොවේ'

එහෙත් කැළණි පාලම ඉදිකිරීම වෙනුවෙන් ජපානය ලබා දෙන ණය මුදලේ පොලී අනුපාතය 0.1% ක් බව ඔහු පෙන්වා දෙයි.

මේ අනුව ජපානය ආයෝජනය කිරීම ශ්‍රී ලංකාවට විශාල වාසියක් බව පෙන්වා දෙන ආචාර්ය හර්ෂ ද සිල්වා, එය එක්සත් ජාතික පක්ෂයේ මතය නොව ආර්ථික විශ්ලේෂකයකු ලෙසින් තමන්ගේ විග්‍රහය බවද සංදේශයට පැවසීය.

චීන බලපෑම

කෙසේ නමුත් ජපානය ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට පෙළඹුනේ චීනයේ බලපෑම හේතුවෙන් නොවන බව ඔහු අවධාරණය කරයි.

Image caption ජපානය උපකාර කරන්නේ 'ජේආර් ජයවර්ධන හිටපු ජනාධිපතුමා නිසා'

"මේක මේ මහින්ද රාජපක්ෂ චීනයයි ජපානයයි, ඉන්දියාවයි කොටවලා අපිට වාසියක් ගන්න හදනවා කියල ඔවුන් කියන්න හදනවා නම් ඒක කිසි වැදගත්කමකට නැති දෙයක්. ජපානය එදා ඉඳන් හිටියා. චීනය එදා ඉඳන් අපිත් එක්ක හිටියේ නෑ," බවයි, මන්ත්‍රීවරයා පවසන්නේ.

ජපාන අගමැතිවරයාගේ සංචාරය සම්බන්ධයෙන් දේශපාලන ගැටළු ගණනාවක් මතුවන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය සමඟ ශ්‍රී ලංකාව සහයෝගයෙන් කටයුතු කිරීමට කැමැත්ත පළ කිරීම ජපාන අගමැතිවරයාගේ සංචාරයට සම්බන්ධ කරුණක් වූයේ කෙසේදැයි ප්‍රශ්න කරන ආචාර්ය හර්ෂ ද සිල්වා, එමෙන්ම ඩිජිටල් රූපවාහිනී තාක්ෂණය දියුණු කිරීම සඳහා මෙතෙක් එකඟ වී තිබුන EBP2 තාක්ෂණය වෙනුවට ආසියාවේ බහුලව භාවිතා නොවන ජපානයේ ISPT තාක්ෂණය යොදා ගැනීමට ගිවිසුමකට එළඹීම ගැටළු සහගත බවත් සඳහන් කරයි.

"ලෝකයේ සිතියම අරගෙන බැලුවොත් ISPT කියන තාක්ෂණය තියෙන්නේ දකුණු ඇමෙරිකාවේ රටවල පමණයි," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.