උතුරේ හමුදා මැදිහත්වීම් අඩු කරන්න - බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්

Image copyright UK High Commission Colombo

උතුරේ සාමාන්‍ය ජනතාවගේ දෛනික කටයුතු වලට බලපාන යුද හමුදා මැදිහත්වීම් අඩු කරන ලෙස ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජෝන් රැන්කින් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි.

මහ කොමසාරිස්වරයා එම ඉල්ලීම කළේ උතුරු පළාතේ සිදු කරන ලද දින තුනක සංචාරයකින් අනතුරුව බීබීසී සංදේශය සමඟ විශේෂ සාකච්ඡාවකට සහභාගී වෙමින්.

හමුදා මැදිහත්වීම අඩු කිරීම මගින් බිය ගැන්වීම් වලින් තොර ව සාමාන්‍ය ජනතාවට නිදහසේ කටයුතු කිරීමට ඉඩ දෙන ලෙසයි, මහ කොමසාරිස් ජෝන් රැන්කින් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්නේ.

බීබීසී සිංහල සේවය සමග පැවැත්වූ සාකච්ඡාවේ දී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ, කලින් යුද කලාපයක්ව පැවති උතුරු පළාතේ බොහෝ ධනාත්මක වෙනස්කම් සිදු වී තිබුනත් ජය ගත යුතු තවත් අභියෝග පවතින බවයි.

ධනාත්මක වෙනස් කම්

උතුරු පළාතේ සිදු කළ සිය සංචාරයේ දී ආරක්ෂක අංශ සමඟ සාකච්ඡා කිරීමට තමාට අවස්ථාවක් ලැබුණ බවත් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා පවසයි.

“මම හමුදාවෙ කිහිප දෙනෙක් සමග සාකච්ඡා කළා. ඔවුන් දැනට කටයුතු කර ගෙන යන ආකාරය සහ ඔවුන් ප්‍රදේශයේ ජනතාව සමග බද්ද වෙන්නෙ කොහොමද කියන කාරණය ගැන. විශේෂයෙන්ම, සාමාන්‍ය ජනතාවගේ ක්‍රියාකාරකම් වලට බලපාන හමුදා මැදිහත්වීම් අඩු කරන්නෙ කොහොමද කියන කාරණය පිළිබඳව මම කතා කළා” මහ කොමසාරිස් ජෝන් රැන්කින් සඳහන් කළේය.

Image copyright UK High Commission Colombo

රාජ්‍ය නොවන සංවිධාන වලට නිදහසේ කටයුතු කිරීමට අවස්ථාවක් දිය යුතු බවට ඔහු කරන ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් ගේ අවධානය යොමු වී ඇද්දැයි සංදේශය ප්‍රශ්න කළ විට ජෝන් රැන්කින් කියා සිටියේ ‘තමා එසේ සිතන’ බවයි.

යුද අපරාධ පරීක්ෂණ

ඇතැම් මානව හිමිකම් ක්‍රියාධරයන්ට උතුරු පළාතේ කටයුතු කිරීම අතින් පහසු තත්වයක් ගොඩ නැගෙමින් පවතින බවත් මහ කොමසාරිස්වරයා අදහස් කරයි.

ශ්‍රී ලංකා රජය යුද්ධයෙන් අතුරුදහන්වූවන් ගැන සොයා බැලීමේ කොමිසමේ කටයුතු මෑතක දී තවත් පුළුල් කරනු ලැබීම එක්සත් ජාතීන්ගේ පරීක්ෂණයක් අනවශ්‍ය බව පෙන්වීම සඳහා ගන්නා ලද පියවරක් විය නොහැකි දැයි බීබීසිය ප්‍රශ්න කළ විට ජෝන් රැන්කින් මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ, යුද අපරාධ චෝදනා පිළිබඳව පලදායී ස්වාධීන පරීක්ෂණයක් පවත්වන මෙන් බ්‍රිතාන්‍ය රජය ශ්‍රී ලංකාවෙන් නිතරම ඉල්ලා සිටි බවයි.

“අපි දන්නව අතුරුදහන් වීම පිලිබඳ සොයා බැලීමේ කොමිසමේ කටයුතු පුළුල් කර ඇති බව. ඒ පරීක්ෂණ වාර්තාව නිකුත් කෙරෙන තුරු අපි බලා සිටිනවා. ඒ වගේම, පසුගිය මාර්තු මාසයේ ජිනීවා වලදී සම්මත කෙරුණ ජාත්‍යන්තර පරීක්ෂණයක් පිලිබඳ යෝජනාව අනුව කෙරෙන පරීක්ෂණයත් ශ්‍රී ලංකාව තුළ සිදු කෙරෙන පරීක්ෂණයට සමගාමීව සිදු කෙරෙනවා” මහ කොමසාරිස්වරයා පවසයි.

බටහිර සමඟ සබඳතා

ශ්‍රී ලංකා රජය බ්‍රිතාන්‍යය සහ අනෙකුත් බටහිර රටවල් නොතකා යමින් දේශපාලන සහයෝගීතාවය සහ ආයෝජන අතින් චීනයේ උපකාර මත යැපීමේ උත්සාහයක යෙදෙන බවක් ඉදිරි දිනවල සිදු කෙරෙන චීන ජනාධිපතිවරයා ගේ කොළඹ සංචාරය මගින් පෙනී යන්නේ දැයි බීබීසිය ප්‍රශ්න කළ විට මහකොමසාරිස් ජෝන් රැන්කින් කියා සිටියේ, එක්සත් රාජධානිය ඇතුළු යුරෝපය සහ ඇමරිකාවත් සමග ශ්‍රී ලංකාවේ සම්බන්ධතා ශක්තිමත් මට්ටමක පවතින බවයි.

Image caption උතුරේ හමුදා මුරපොලක්

“එක්සත් රාජධානිය කියන්නෙ ප්‍රමාණය අතින් බැලුවම ශ්‍රී ලංකාවේ දෙවන ප්‍රධානතම වෙළඳ ගනුදෙනුකරු. යුරෝපය තුළ ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළඳ පොළ බ්‍රිතාන්‍යය. අපි දෙරට අතර අධ්‍යාපනික සහ සංස්කෘතික සබඳතාවනුත් ඉතාම ශක්තිමත්. ඒ වගේම, මම දන්නව, ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් බ්‍රිතාන්‍යය සහ යුරෝපය සමග සබඳතා නැති කර ගැනීමට කැමති නැති බව” මහ කොමසාරිස්වරයා සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර