ඌවේ තවත් ‘මැතිවරණ ප්‍රතිපලයක්’

Image copyright CAFFE
Image caption ප්‍රහාරයට ගොදුරු වූ සරසවි සිසුවෙක්

ඌව පළාත් සභාවට තරඟ වදින ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයන්ගේ ප්‍රචාරක කටයුතුවල නිරත වෙමින් සිටි සරසවි ශිෂ්‍යයන් අට දෙනකුට පහර දී ඇතැයි නිදහස් සහ සාධාරණ මැතිවරණ සඳහා පෙනී සිටින නිරීක්ෂක ආයතනය(කැෆේ) පවසයි.

නිදහස් සහ සාධාරණ මැතිවරණ සඳහා පෙනී සිටින ‘කැෆේ’ නිරීක්ෂක ආයතනයේ මාධ්‍ය ප්‍රකාශක රජිත් කීර්ති තෙන්නකෝන් බීබීසී සංදේශයට ප්‍රකාශයක් කරමින් ස්ථාන දෙකකදී එම පහර දීම් සිදු කරනු ලැබ ඇති බවයි කියා සිටියේ.

ඔහු පවසන ආකාරයට ප්‍රහාරයට ගොදුරු වී ඇති ශිෂ්‍යයන් මොරටුව කැලණිය සබරගමු සහ විවෘත විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෝ වෙති.

ජනතා විමුක්ති පෙරමුණේ අපේක්‍ෂක විජේසිරි පල්ලියගුරුට අයත් මොනරාගල වැල්ලවාය පාරේ මදුරුකටියේ පිහිටි නිවසේ සිට උදෑසන මුහුණ සේදීමට ගිය ශිෂ්‍යයන් හතර දෙනකුට අංක තහඩු නොමැති ‘ඩිෆෙන්ඩර්’ රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් පහර දී බරපතළ තුවාල සිදු කර ඇති බවයි, ‘කැෆේ’ මැතිවරණ නිරීක්ෂක ආයතනයේ මාධ්‍ය ප්‍රකාශක රජිත් කීර්ති තෙන්නකෝන් බීබීසියට ප්‍රකාශ කළේ.

එම ප්‍රහාරයේ දී සිසුන්ගේ හිසට බෙල්ලට සහ අත්වලට හානි සිදු කර ඇත.

පොලිස් මුරපොලක් අසල

Image copyright CAFFE
Image caption ප්‍රහාරයෙන් පසු කට උත්තර

ප්‍රහාරය එල්ල කෙරුණ ස්ථානයකට මීටර් එකසිය පනහක් පමණ දුරින් පොලිස් මුරපොලක් ඇති බවත් ප්‍රහාරය එල්ල කෙරෙද්දී පොලිස් භටයන් එහි රැඳී සිට ඇති බවත් ‘කැෆේ’ මැතිවරණ නිරීක්ෂක ආයතනයේ මාධ්‍ය ප්‍රකාශකයා පවසයි.

සරසවි සිසුන්ට එල්ල කෙරුණ දෙවැනි ප්‍රහාරය වාර්තා වන්නේ වැල්ලවාය සිරිගල ප්‍රදේශයෙනි.

වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් තවත් සරසවි සිසුන් හතර දෙනකුට සිරිගල දී පහර දී ඇති බවයි ‘කැෆේ’ නිරීක්ෂක ආයතනයේ මාධ්‍ය ප්‍රකාශක රජිත් කීර්ති තෙන්නකෝන් පවසන්නේ.

ඌව පළාත් සභා මැතිවරණයට තරඟ කරන විපක්ෂයේ අපේක්ෂකයන් ඔවුන්ගේ නිවාස සහ ආධාරකරුවන් ඉලක්ක කර ගනිමින් සැලසුම් සහගත ලෙස පහර දීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ‘කැෆේ’ නිරීක්ෂක ආයතනය පෙන්වා දෙයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර