ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මම විරුද්ධ සජිත්ගේ ප්‍රතිපත්ති වලට - මංගල

එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානයේ පැවැත්වුන මාධ්‍ය හමුවකදී අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර තමාට සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා සමඟ පෞද්ගලික ගැටුමක් නොමැති බවත් තමාට පවතින්නේ ප්‍රතිපත්තිමය ප්‍රශ්න බවත් කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ධුරය සජිත් ප්‍රේමදාසට ලබා දීමට විරෝධය පළ කරමින් මංගල සමරවීර මන්ත්‍රීවරයා විදේශ ගතවූ බවත් එහි දී රජයේ නියෝජිතයන් සමග රහස් සාකච්ඡාවක් පැවැත්වූ බවත් ඇතැම් මාධ්‍යය සහ වෙබ් අඩවි වාර්තා කර තිබිණ.

තමා ආණ්ඩුව සමග කිසිදු රහසිගත සාකච්ඡාවක් පවත්වා නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර පවසයි.

අද බදාදා කොළඹ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය හමුව අමතමින් රජය දැඩි ලෙස විවේචනය කළ මන්ත්‍රීවරයා සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා සමග තමන්ට ඇත්තේ ප්‍රතිපත්තිමය ගැට‍ළුවක් පමණක් බවයි පැවසුවේ.

එකම වේදිකාවකට

මහින්ද රාජපක්ෂ රජයේ දූෂිත පාලනය නැති කිරීම සඳහා ආණ්ඩු විරෝධී සියලු බලවේග එක් වේදිකාවකට ගෙන ඒමට තමන් කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර පවසයි.

පක්ෂ, පාට, සලකුණ වශයෙන් වෙන් වුවහොත් මෙම දූෂිත ආණ්ඩුව පරාජය කිරීමට නොහැකි වනු ඇති බවයි මන්ත්‍රීවරයා අවධාරණය කළේ.

මෙම මාධ්‍ය හමුවේදී මංගල සමරවීර මන්ත්‍රීවරයා ශ්‍රී ලංකාවේ විදේශ සේවාව දැඩි ලෙස විවේචනය කළ අතර ශ්‍රී ලංකාවේ විදේශ සේවාව ආණ්ඩුවේ ලොක්කන්ගේ නූගත් දු පුතුන්ට සහ උදව් කරුවන්ට රැකියා ලබා දෙන ස්ථානයක් බවට පත් කර ඇති බවයි පැවසුවේ.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මීළඟ ජනාධිපති කිරීමට ඇප කැප වී කටයුතු කරන බවට සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා කර ඇති ප්‍රකාශය තමන් අගය කරන බව පැවසූ මන්ත්‍රීවරයා එම ප්‍රකාශය හුදු ප්‍රකාශයක් පමණක් නොවී එය ක්‍රියාවෙන් ද ඔප්පු වනු ඇතැයි තමන් ප්‍රාර්ථනා කරන බවද පැවසීය.