ජවිපෙට තවත් ප්‍රහාර

Image copyright CAFFE
Image caption ප්‍රහාරයක දී අලාභ හානි කෙරුණ ත්‍රිරෝධ රථයක්

සෙනසුරාදාදිනය ඇතුළත ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාල පහකට පහර දී ඇතැයි නිදහස් සහ සාධාරණ මැතිවරණ සඳහා වන නිරීක්ෂක ආයතනය (කැෆේ) නිවේදනය කරයි.

එම ආයතනයේ මාධ්‍ය ප්‍රකාශක රජිත් කීර්ති තෙන්නකෝන් බීබීසී සංදේශයට ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, එකී සියලු ප්‍රහාර මොනරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙන බවයි.

ජනතා විමුක්ති පෙරමුණ විසින් සෙවනගල නගරයේ සවි කර තිබුණ නීත්‍යානුකූල ප්‍රචාරක දැන්වීම් වලටත් හානි සිදු කරනු ලැබ ඇති බවයි, ඔහු සඳහන් කළේ.

වාර්තා වන ආකාරයට ඉහත කී ප්‍රහාර සම්බන්ධයෙන් පොලිසිය පියවර ගෙන නැති බවත් ‘කැෆේ’ මාධ්‍ය ප්‍රකාශක රජිත් කීර්ති තෙන්නකෝන් කියා සිටියේය.

“ජනතා විමුක්ති පෙරමුණට මේ වන විට අවස්ථා විසි හතක දී හෝ ඊටත් වැඩි වාර ගණනක දී පහර දී තිබෙනවා. ඒ ගැන කරන ලද පැමිණිලිවලට අත් වූ ඉරණම මෙම අලුත් පහර දීම් වලටත් අත් විය හැකි බවයි පෙනෙන්නේ” ‘කැෆේ’ මාධ්‍ය ප්‍රකාශකයා පෙන්වා දෙයි.

මොනරාගලින් වාර්තාවක්

ඌව පළාත් සභා මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සමයෙහි කැෆේ සංවිධානයට මේ වන විට පැමිණිලි 353 ක් ලැබී ඇති බවත් ඔහු කියා සිටියි.

“ඉන් 248 ක් ලැබී තිබෙන්නේ මොනරාගල දිස්ත්‍රික්කයෙන්. බදුල්ල දිස්ත්‍රික්කයෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 87යි. ඒ අතරම දිස්ත්‍රික්ක දෙකටම පොදු පැමිණිලි දහඅටකුත් ලැබී තිබෙනවා. මෙයින් පැමිණිලි 74 ක් ම පහර දීම් ,ගිනි තැබීම් සහ දේපොළ විනාශ කිරීම් වැනි ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන්” රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

මෙම පළාත් සභා මැතිවරණයේ ප්‍රචණ්ඩ ක්‍රියා වැඩියෙන් ම වාර්තා වෙන කලාපය මොනරාගල දිස්ත්‍රික්කය වන බවයි ‘කැෆේ’ ආයතනය පවසන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර