ක්‍රිකට් අවුල ලිහා ගැනීමේ ප්‍රයත්නයක්

Image copyright AFP
Image caption සභාපති සහ ලේකම්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා සහ ලේකම්වරයා අතර උද්ගතව පැවතුණ ප්‍රශ්න ඉවත ලා ඉදිරි කටයුතු කර ගෙන යාමට ඔවුන් දෙදෙනා එකඟ වූ බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.

ක්‍රීඩා අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් හර්ෂ බී අබේකෝන් විසින් නිකුත් කරනු ලැබ ඇති නිවේදනයක්‌ මගින් පැවසෙන්නේ, 2015 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා ගැනීමේ ඉලක්කය ඇතිව ඉදිරි කාලයෙහි එකමුතුව ක්‍රියා කිරීමට සභාපතිවරයා සහ ලේකම්වරයා ක්‍රීඩා ඇමතිවරයා හමුවේ පොරොන්දු වූ බවයි.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෑත කාලයේ දී නිර්මාණය වී තිබූ කළමනාකරණ හා පරිපාලන ගැටලු හේතුවෙන් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති හා ලේකම් අතර ඇති වූ සන්නිවේදන බාධාවන් ඉවත් කර 2015 ක්‍රිකට් ලෝක ශූරතා තරඟාවලිය ඉලක්ක කර ගෙන ජයග්‍රාහී වැඩ පිළිවෙලක් සමඟ ඉදිරියට යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාස හා එහි ලේකම් නිශාන්ත රණතුංග අද (15) පෙරවරුවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හමුවේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව එකඟ වූ බව ක්‍රීඩා අමාත්‍යාංශය අවධාරණය කරන බවයි” එම නිවේදනයේ දැක්වෙන්නේ.

ඇමති විශ්වාසය

Image copyright Getty Images
Image caption ක්‍රීඩා ඇමතිවරයා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තීන්දු තීරණ ක්‍රියාත්මක වීමේ දී සභාපති ඇතුළු විධායක සභාව ගනු ලැබූ තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමේ මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුගමනය කළ කළමනාකරණ හා පරිපාලන විධික්‍රමයක් යටතේ සිදු කිරීමට කටයුතු කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා එම සාකච්ඡාවේ දී ක්‍රිකට් බලධාරීන්ට දැනුම් දී ඇත.

එම ක්‍රමවේදයන් යටතේ ක්‍රියාත්මක වීමේ දී ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා හා ලේකම්වරයා විධිමත් සන්නිවේදන ක්‍රියාවලියක් ගොඩනැගෙන අතර එවැනි තත්වයක් යටතේ දෙපාර්ශ්වය අතර ගැටලු මතු නොවන බැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කාර්යක්ෂමව ඉදිරියට යනු ඇතැයි ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විශ්වාසය පළ කළ බවත් ඉහත කී නිවේදනයේ දැක්වෙයි.

2015 ලෝක ශූරතාවය

2015 ලෝක ශූරතාවලිය ශ්‍රී ලංකාවට දිනා ගැනීම හා රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය ගොඩනැගීමේ ඉලක්ක හැර වෙනත් යමක් ක්‍රිකට් ආයතනයේ මෙන් ම එහි ප්‍රධානීන්ගේ අරමුණ නොවන බැවින් එම ඉලක්ක ජයග්‍රහණය කර දීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයාගේ සහ ලේකම්වරයාගේ වගකීම බව ඇමතිවරයා අවධාරණය කොට ඇත.

දෙපාර්ශ්වය අතර ඇති වී තිබුණ ගැටලු පිළිබඳ ව දීර්ඝ ලෙස සාකච්ඡා කළ ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා සහ ලේකම්වරයා රටේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට උනන්දු වන බව පවසමින් මින් ඉදිරියට කිසිදු ප්‍රශ්නයක් ඇති නොවන අයුරින් කටයුතු කරන මෙන් ඔවුන්ට දැනුම් දුන් අතර ඔවුන් දෙදෙනා එම අදහසට එකඟ වූ බවයි, ක්‍රීඩා අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් හර්ෂ බී.අබේකෝන් විසින් නිකුත් කරනු ලැබ ඇති නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර