ජෙයකුමාරි ගෝපිට 'නවාතැන් දුන්නා'

Image caption ජෙයකුමාරි අත්අඩංගුවට ගැනීමට එරෙහිව උතුරේ විරෝධතා ව්‍යාපාර දියත් විය

කිලිනොච්චියේදී අත්අඩංගුවට ගනු ලැබූ මානව හිමිකම් ක්‍රියාධාරිනී බාලේන්ද්‍රන් ජයකුමාරිට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

රජයේ නිතිවේදිනිය ඒ බව අධිකරණයට දැනුම් දුන්නේ තමන් නිදහස් කරන මෙන් ඉල්ලා අදාළ කාන්තාව ඉදිරිපත් කළ පෙත්සම කැඳවූ අවස්ථාවේදී.

"දැනට සිදුකර තිබෙන පරීක්ෂණවලට අනුව පෙත්සම්කාරියට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී තිබෙනවා," යනුවෙන් ඇය අධිකරණය ඉදිරියේ කරුණු දැක්වූවාය.

"කොටි සංවිධානය නැවත නිර්මාණය කිරීම සදහා මූලිකත්වයෙන් කටයුතු කළ ගෝපි නමැති පුද්ගලයාට සැකකාරිය නවාතැන් පහසුකම් දුන් බවට ප්‍රමාණවත් සාක්කි පවතිනවා," යනුවෙන්ද රජයේ නීතිවේදිනිය ප්‍රකාශ කළාය.

'පලිගැනීමට'

Image copyright AP
Image caption ඩේවිඩ් කැමරන්ගේ සංචාරය අවස්ථාවේ උද්ඝෝෂණයේ යෙදුනු උතුරේ වැසියෝ

එහෙත් එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි පෙත්සම්කාර පාර්ශවයේ නීතිවේදියා කියා සිටියේ.

"පෙත්සම්කාරිය සිය පුත්‍රයා අතුරුදන් වීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියට පැමිණිලි කළා. බ්‍රිතාන්‍ය අගමැතිවරයා උතුරට පැමිණි අවස්ථාවේදී ඇය මුල් වී විරෝධතා සිදු කළා. එයට පලිගැනීම සඳහායි, ඇය අත්අඩංගුවට ගෙන රඳවාගෙන් සිටින්නේ," යනුවෙන් නීතිවේදියා චෝදනා කළේය.

මෙහිදී රජයේ නීතිවේදිනිය වෙත ප්‍රශ්නයක් යොමු කළ විනිසුරුවරයා ප්‍රමාණවත් සාක්කි තිබේ නම් සැකකාරියට එරෙහිව චෝදනා ඉදිරිපත් කරනවා දැයි විමසා සිටියේය.

එයට පිළිතුරු දෙමින් රජයේ නීතිවේදිනිය පැවසුවේ පරීක්ෂණ අවසන් වීමෙන් පසුව ඒ පිළිබඳව තීරණයක් ගන්නා බවයි.

ඒ අනුව පෙත්සම ලබන දෙසැම්බර් මස 17 වනදා කැඳවීමට නියම කළ අධිකරණය එදිනට මෙම පෙත්සම්කාරියට එරෙහිව පවතින සාක්ෂිවල සාරාංශයක් අධිකරණයට ඉදිරිපත් කරන මෙන් රජයේ නීතිවේදියාට නියම කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර