නීතිවේදීන්ට ආරක්ෂාව සලසන්න - ජගත් නීතිවේදීන්

Image caption 'සංවේදී නඩු විභාග වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන්ට එරෙහිව එල්ලවන තරජන උත්සන්න වෙමින් පවතී'

මරණ තර්ජන එල්ල වී තිබෙන නීතිවේදීන්ට නිසි ආරක්ෂාව සැලසීමට පියවර ගන්නා මෙන් ජගත් නීතිවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් පෙනී සිටින නීතිවේදීන්ට සහ සිවිල් සමාජ ක්‍රියාධරයන්ට එල්ලවන තර්ජන හමුවේ ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් මෙම ඉල්ලීම කරන බවයි, ඉබාරි හෙවත් ජගත් නීතිවේදීන්ගේ සංගමයේ මානව හිමිකම් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

"විශේෂයෙන්ම නාමල් රාජපක්ෂ සහ මංජුල පතිරාජ නීතිවේදීන්ට එල්ල වූ බව වාර්තා වන මරණ තර්ජන පිළිබඳව වහාම විනිවිද පෙනෙන සුළු පරීක්ෂණයක් පවත්වන මෙන් ඉබාරි ආයතනය අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටී," යනුවෙන්ද නිවේදනයේ දැක්වේ.

'සමාන රටාවක්'

පසුගිය සැප්තැම්බර් 13 වැනි දින නාමල් රාජපක්ෂ සහ මංජුල පතිරාජගේ කාර්යාලයට පැමිණි මුහුණු ආවරණය කරගත් පිරිසක් 'අනවශ්‍ය නඩුවලට' පෙනී නොසිටින මෙන් තර්ජනය කළ බව නීතිවේදී රාජපක්ෂ බීබීසී සංදේශයට පැවසීය.

එම තර්ජනය පිළිබඳව ඉබාරි ආයතනයේ දැඩි අවධානය පළ වී ඇති බවයි, එහි සම-සභාපතිනි හෙළනා කෙනඩි ආදිපාදවරිය පවසන්නේ.

"මෙම තර්ජන එල්ල වී තිබෙන්නේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරීය පසුපස ලුහුබඳිමින් ඔහු බිය ගැන්වීමට උත්සාහ කළ බවට වාර්තා පළවීමෙන් අනතුරුවයි," යනුවෙන් ඇය සඳහන් කරන්නීය.

"එක්ව ගත්කළ මේ මගින් පෙන්නුම් කෙරෙන්නේ දේශපාලන වශයෙන් සංවේදී නඩු විභාග වෙනුවෙන් පෙනී සිටින හෝ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන්ට එරෙහිව එල්ලවන තර්ජන බරපතල ලෙසින් උත්සන්න වෙමින් පවතින බවකි."

පසුගිය අගෝස්තු 4 වැනි දින මරදාන පොලිස් ස්ථානයේදී පොලිසිය බලා සිටියදීම ලක්ෂාන් ඩයස් සහ මංජුල පතිරාජ නීතිවේදීන්ට තර්ජන එල්ල වූ නමුත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් පොලිසිය කිඉස්දු පියවරක් ගෙන නැති බවත් ඉබාරි නිවේදනයේ සඳහන්.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර