ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඌව: මුස්ලිම් සහාය නොලැබීම 'ප්‍රධාන සාධකයක්'

මීට වසර පහකට පෙර පැවති පළාත් සභා මැතිවරණයේදී වැඩි ආසන 20 ක බහුතර බලයක් තිබුණු සන්ධානයේ බහුතර බලය විශාල වශයෙන් බිඳ වැටීමට ගොවි ගැටළු, බඩු මිල මෙන්ම මුස්ලිම් ජනතාවට එරෙහිව එල්ල වූ ප්‍රහාරද ප්‍රධාන සාධකයන් වූ බව වාර්තාකරුවෝ පෙන්වා දෙති.

2009 දී ආසන 27 ක් දිනා ගත් පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානය සෙනසුරාදා පැවති මැතිවරණයේදී දිනා ගැනීමට සමත් වූයේ ආසන19ක් පමණි.

Image caption 2009 ට සාපේක්ෂව සන්ධානයේ බහුතර බලය ආසන හතරක් දක්වා පහත වැටී තිබේ

ඒ අනුව සන්ධානයේ බහුතර බලය ආසන තුනක් දක්වා අඩු වී තිබෙන අතර, එයින් එක් මන්ත්‍රීවරයකු සභාපතිවරයා ලෙසින් තේරී පත්වුවහොත් එම බහුතරය ආසන තුනක් බවට පත්වේ.

විශේෂයෙන්ම වැලිමඩ වැනි ප්‍රදේශයකදී පාලක සන්ධානයේ පරාජයට හේතු වූයේ අර්තාපල් ගොවීන් ඇතුළු ගොවියන්ගේ ගැටළු බවයි, බණ්ඩාරවෙල සිටින ප්‍රාදේශීය මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා බීබීසී සංදේශයට කියා සිටියේ.

මුස්ලිම් ඡන්ද

එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ වෙසෙන 47,000 ක් පමණ වන මුස්ලිම් ජනතාවගෙන් බහුතරය එක්සත් ජාතික පක්ෂයේ මහ ඇමති අපේක්ෂක හරීන් ප්‍රනාන්දුට සහාය දක්වා තිබෙන බවද ඔහු පැවසීය.

"එතන මේ පහුගිය කාලේ රටේ මුස්ලිම් ජනතාව අරභයා ඇතිවෙච්ච ප්‍රශ්න පැහැදිලිවම බලපෑවා," යනුවෙන්ද මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා පැවසීය.

අනෙක් අතට සෙන්දිල් තොන්ඩමාන් වැනි ආකර්ෂණීය දෙමළ නායකත්වයක් ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය අපොහොසත්වීම හමුවේ වතුකරයේ දෙමළ ජනතාව පාලක සන්ධානයට සහාය දී ඇති බවයි, ඔහු පවසන්නේ.

Image caption ඌව පළාතේ 'සරත් ෆොන්සේකාට ජනතා සහයෝගයක් නෑ'

පසුගිය පළාත් සභාවේ සන්ධානය නියෝජනය කළේ දෙමළ මන්ත්‍රීවරුන් දෙදෙනකු පමණක් බව පෙන්වා දෙන ඔහු, මෙවර එය සිවු දෙනකු දක්වා ඉහල යාම මගින් වතුකර ජනතාවගේ සහයෝගය ඉතා හොඳින් පැහැදිලි වන බවත් බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක් වෙමින් පැවසීය.

සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ මනෝ ගනේෂන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ එජාපය සමඟ එක්ව තරඟ කළේ නම් ප්‍රතිඵලය වෙනස් විය හැකිව තිබුණේදැයි විමසූ විට ඔහු කියා සිටියේ, එම පක්ෂවලට ඌව පළාතේ එතරම් ජන පදනමක් නොමැති බවයි.

එබැවින් එම පක්ෂ එජාපයට එකතු වුවත් එමගින් ප්‍රතිඵලයට විශාල බලපෑමක් කිරීමේ හැකියාවක් නොතිබුණු බව ඔහුගේ අදහසයි.

අනෙක් අතට ප්‍රචාරක ව්‍යාපාරයේදී ජනතා විමුක්ති පෙරමුණට ප්‍රබල ජනතා සහායක් පලවන බව දක්නට ලැබුනත්, ඒ බොහෝ දෙනා අවසානයේ එක්සත් ජාතික පක්ෂයට සහාය දී ඇති බවක් පෙනීයන බවද ලසන්ත ද සිල්වා පැවසීය.