ආණ්ඩුව බය වෙලා - එජාපය

  • 2014 සැප්තැම්බර් 21
Image copyright unp.lk
Image caption 'මාධ්‍ය ඔස්සේ කෙරුණු සංසන්දනාත්මක විග්‍රහ නවත්වා දැමීමට සිදු වී තිබේ'

ඌව පළාත් සභාවේ මැතිවරණ ප්‍රතිඵලයෙන් සැලුණු ආණ්ඩුව, 2009 පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලය සමඟ මෙවර ප්‍රතිඵලය සංසන්දනය නොකරන මෙන් විද්‍යුත් මාධ්‍යවලට බලපෑම් කොට ඇතැයි එක්සත් ජාතික පක්ෂය චෝදනා කරයි.

එජාපය එම චෝදනාව නගන්නේ සෙනසුරාදා පැවති මැතිවරණයේ ප්‍රතිඵලය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින්.

ආණ්ඩුවේ බලපෑම් හේතුවෙන් ඌව මැතිවරණය හා මීට පෙර පැවති මැතිවරණ අතර කෙරෙන සංසන්දනාත්මක විග්‍රහයන් හා විශ්ලේෂණ නවතා දැමීමට විද්‍යුත් මාධ්‍ය ආයතනවලට සිදු වී ඇති බවයි එක්සත් ජාතික පක්ෂය පවසන්නේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු සන්ධානය පත්ව ඇති දේශපාලන 'අස්ථාවරත්වය' විද්‍යුත් මාධ්‍යවලට කර ඇති එම බලපෑමෙන් පිළිබිඹු වන බව එක්සත් ජාතික පක්ෂය කියා සිටියේය.

ඌව වෙල්ලස්සේ ජනතාව මෙවර මැතිවරණයේදී ආණ්ඩු පක්ෂය සිදු කරන දූෂණ සහ අක්‍රමිකතා වලට පිළිතුරු සපයා ඇති බව පවසන එක්සත් ජාතික පක්ෂය මෙම ප්‍රතිඵලයත් සමග ආණ්ඩුවේ අවසානය ලඟා වෙමින් තිබෙන බව පැහැදිලි යැයිද සඳහන් කරයි.

"ආඥාදායක රාජපක්ෂ පාලනය පැරදවීමේ සටන ඌව වෙල්ලස්සෙන් දැන් යළි ආරම්භ වී තිබේ," යනුවෙන්ද එජාපය පවසයි.

'ප්‍රජාතන්ත්‍රවාදය දිනෙක ජය ගන්නා බව' සමස්ත ප්‍රතිඵලය දෙස බැලීමේදී සනාථ වන බවත් එජාප නිවේදනයේ සඳහන්.

එක්සත් ජාතික පක්ෂය කරන මේ චෝදනාව පිළිබඳව ප්‍රතිචාරය ලබා ගැනීම පිණිස කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇමතීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර