බදුල්ල පැරදුනේ වතුකර ඡන්ද නිසා - හරීන්

Image caption 'වතු ඡන්ද තවත් 7000, 8000ක වාසියක් ගන්න තිබුනා නම් මේ තත්වය වෙනස් වෙනවා'

ඌව පළාත් සභා මැතිවරණයේදී බදුල්ල දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය අහිමි වූයේ වතුකරයේ දෙමළ ඡන්දාදයකයන් පාලක සන්ධානයට සහාය පළකිරීම නිසා බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු ප්‍රකාශ කරයි.

ඔහු ඒ බව කියා සිටියේ කොළඹදී කැඳවා තිබුණු විශේෂ මාධ්‍ය හමුවක් අමතමින්.

තම ආගමනයත් ආණ්ඩුවට එරෙහිව තිබූ ජනතා විරෝධයත් නිසා එක්සත් ජාතික පක්ෂයේ ජන්ද ප්‍රතිශතය ඉහල දැමීමට හැකිවූ බවද ඔහු සඳහන් කළේය.

"වතු ඡන්ද තවත් 7000, 8000ක වාසියක් ගන්න තිබුනා නම් මේ තත්වය වෙනස් වෙනවා," යනුවෙන් ඔහු කියා සිටියේය.

"ලංකා කම්කරු කොංග්‍රසය, දිගම්බරම්ගේ පක්ෂය සහ කඳුරට ජනතා පෙරමුණ වැනි දෙමළ ජනතාව නියෝජනය කරන පක්ෂවල අපේක්ෂකයන් ආණ්ඩුවෙන් ඉල්ලද්දී තමයි අපි තනි පක්ෂයක් විදිහට ඉල්ලුවේ. ඒ නිසා එතන අපිට අවාසියක් සිදුවුණා."

පුද්ගල දේශපාලනය

තමන්ට තිබූ ජනතා ආකර්ෂණය ඌව මැතිවරණයේදී පක්ෂයේ ඡන්ද ප්‍රතිශතය වැඩිවීමට හේතු වූ ආකාරයට ඉදිරි ජනාධිපතිවරණයකදී ජන්ද ප්‍රතිශතය වැඩිකර ගැනීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට ජනතා ආකර්ෂණයක් තිබෙන්නේ දැයි බීබීසී සංදේශය යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඔහු කියා සිටියේ, පුද්ගලයා දෙස බලා ඡන්දය දීම වෙනුවට වැඩපිළිවෙලකට සහාය පළකරන තත්වයකට ජනතාව ගෙන යායුතු බවයි.

"මට ලැබුනේ පෞද්ගලික ජන්දයක්. අපි ඒ නිසා එතනින් ලැබුණු ගැම්ම අපේ පක්ෂයට පෙරළා ගන්න පුළුවන් විදිහට මේ තත්වය නිර්මාණය කරන්න ඕනේ."

Image copyright CaffeSriLanka.org
Image caption මැතිවරණයෙන් අනතුරුව එජාප ආධාරකරුවන් '14 දෙනෙක් රෝහල්ගත කරලා'

වර්තමානයේ ශ්‍රී ලංකාව විනාශ වී තිබෙන්නේ පුද්ගල දේශපාලනය නිසා බවද හරීන් ප්‍රනාන්දු පැවසීය.

"මහින්ද රාජපක්ෂත් එක්ක ඡන්දය කරනවා නම් ඔහුගේ චරිතය බලල ඡන්දය දෙන පිරිසක් ඉන්නවා. දේශපාලනයේ වැඩි අවධානයක් නැති අය බලන්නේ පුද්ගලයෝ දිහා. නමුත් අපි විශ්වාස කරන්නේ පුද්ගලයා දිහා බලල ඡන්දය දෙන එක නෙවෙයි. වැඩපිළිවෙල බලල ඡන්දය දෙන තැනකට අපි ඉදිරි කාලයේදී වෙනස් කර ගත යුතුයි."

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සහ ප්‍රබල චරිත කිහිපයක්ම ඉදිරියේ එක්සත් ජාතික පක්ෂයට එක්විය හැකි බවට ඉඟියක්ද පළකළ ඌව පළාත් සභා මන්ත්‍රීවරයා, ඔවුන් එක්කර ගතයුත්තේ පක්ෂයේ ප්‍රතිපත්තිවලට අනුකූලව බවද පැවසීය.

මැතිවරණය අවසන් වුනු පසු තම ආධාරකරුවන්ට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් මේ වන විට 14 දෙනකු රෝහල් ගතකර ඇති බවත් එයින් හය දෙනකු බරපතල තුවාල ලබා ඇති බවද ඔහු කියා සිටියේය.

"අපි දේශපාලනයේ ප්‍රතිපත්ති එක්ක ගහගත්තා මිසක් අතින් පයින් ගහගන්න ඕනේ නැහැ. ඒත් කාටහරි ගහගන්න ඕනෙනම් මන් කියන්නේ ඒ මන්ත්‍රීවරයාට මාත් එක්ක ගහගන්න, මගේ මිනිස්සුන්ට ගහන්න එපා. මේ හදන්නේ ඊළඟ ඡන්දෙට වැඩකරන්න එපා කියල බයකරන්න."

එක්සත් ජාතික පක්ෂයේ තිබුණු අර්බුද අවසන් අතර, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සහ උපනායක රවී කරුණානායක අතර තිබූ විරසකයද අවසන් බවත් මාධ්‍යවේදීන් අමතමින් හරීන් ප්‍රනාන්දු කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර