ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

වන ජීවී ඇමතිට නොතීසි

බලපත්‍ර නොමැතිව රඳවා ගෙන සිටින අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙලක් සකස් කරන මෙන් ඉල්ලා ගොනු කළ පෙත්සමක් විභාග කිරීමට අවසර දුන් අභියාචනාධිකරණය වන ජීවී අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන්ට නොතීසි නිකුත් කොට තිබේ.

සත්ව හිංසා වැළැක්වීමේ සංවිධාන කිහිපයක් එක් වී ඉහත කී පෙත්සම අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

Image caption 'මේක විශාල නීති විරෝධී ජාවාරමක්' -පැමිණිල්ල

පෙත්සම්කාර පාර්ශවය සඳහන් කර සිටියේ අලි ඇතුන් ලියාපදිංචි කිරීමට අදාලව වන ජීවී දෙපාර්තමේන්තුවේ තිබූ ලේඛනයක් ඉකුත් දා අස්ථානගත වීමෙන් පසුව ලියාපදිංචි කළ සහ නොකළ අලි ඇතුන් සොයා ගැනීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවයි.

'කූට ජාවාරම්'

මෙහි ප්‍රතිඵලයක් ලෙස ඇතැම් පිරිස් වන අලින් රැගෙන විත් ව්‍යාජ බලපත්‍ර සකස් කර ඔවුන් කූට ලෙස ජාවාරම් කිරීමේ කටයුතු වල නිරත වී ඇති බව පෙත්සම්කාර පාර්ශවයේ නීතිවේදි ක්‍රිෂ්මාල් වර්ණසූරිය කියා සිටියේය.

‘අලි ඇතුන් ලියාපදිංචි කිරීමට අදාලව වන ජීවී දෙපාර්තමේන්තුවේ තිබූ පොතක් මෑතකදී අතුරුදන් වුනා. ඉන් පසුව තමා සියලු ප්‍රශ්න මතු වුනේ. මින් ප්‍රයෝජන ගත් ඇතැම් පිරිස් වනාන්තරවලින් අලි ඇතුන් රැගෙන විත් ව්‍යාජ බලපත්‍ර සකස් කර ගෙන තිබෙනවා. මියගිය අලින්ගේ නම් වලිනුත් බලපත්‍ර ලබාගෙන තිබෙනවා. මේක විශාල නීති විරෝධී ජාවාරමක්. ඒ නිසා දිවයින පුරා බලපත්‍ර නොමැතිව රඳවා ගෙන සිටින අලින් ලියාපදිංචි කිරීමේ වැඩ පිළිවෙළක් සකස් කරන මෙන් ඉල්ලා අපි මේ නඩුව පවරා තිබෙනවා.’ ඔහු සඳහන් කළේය.

පෙත්සමේ අන්තර්ගත කරුණු පිළිබඳව අවධානය යොමු කළ අධිකරණය ප්‍රකාශ කළේ එය විභාගයට ගැනීමට තරම් සාධාරණ කරුණු පවතින බවයි.

ඒ අනුව පෙත්සම් විභාගය නොවැම්බර් මස 10 වනදා පැවැත්වීමට තීන්දු කළ අධිකරණය එදිනට මීට අදාලව කරුණු දක්වන ලෙස වග උත්තරකාර වනජීවී අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන්ට නියම කළේය.