"ශ්‍රී ලංකාව මානව හිමිකම් කවුන්සිලයේ ගොදුරක්"

Image copyright Reuters
Image caption මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 69 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුව අමතමින්

ශ්‍රී ලංකාවේ වසර විසි හයක සිවිල් යුද්ධය සම්බන්ධයෙන් ආරම්භ කොට ඇති පරීක්ෂණය දේශපාලන වශයෙන් පොළඹවන ලද, ප්‍රමාණය ඉක්මවා යන එකක් බව පවසමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය දෝෂ දර්ශනයට ලක් කරයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ බදාදා 69 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුව අමතමින්.

සිවිල් යුද්ධයෙන් බැට කෑ ශ්‍රී ලංකාව මේ වන විට මානව හිමිකම් මණ්ඩලයේ හොඳින් සිතා නොබැලු අරමුණුවලින් යුත් න්‍යාය පත්‍රවල අවාසනාවන්ත ගොදුරක් බවට පත්ව ඇතැයි ජනාධිපතිවරයා තව දුරටත් කියා සිටියේය.

2009 වසරේ දී යුද්ධය නිම වීමත් සමගම ශ්‍රී ලංකාව අත්කර ගෙන තිබෙන සැලකියයුතු ප්‍රගතිය එක්සත්ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් අමතක කර දමා ඇති බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේය.

“මගේ රට ඉලක්ක කොට ගෙන කටයුතු කරන ආකාරය දෙස බලන විට එහි සාධාරණීකරණය කළ නොහැකි මට්ටමේ දැඩි මැදිහත් වීම් සහ අපක්ෂපාති බවක් දක්නට තිබෙනවා,” යනුවෙන් කියා සිටි ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට වඩා ලෝකයේ මානව හිමිකම් කවුන්සිලයේ දැඩි අවධානය යොමු විය යුතු රටවල් සහ ප්‍රශ්න තිබෙන බව ප්‍රකාශ කළේය.

විරෝධතාවයක්

ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය කථාව පවත්වන අවස්ථාවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ රැස්වීම පැවැත්වූ ගොඩනැගිල්ල අබියස ශ්‍රී ලංකාවෙන් පිටත ප්‍රකාශයට පත් කොට ඇති ඊලාම් රාජ්‍යයේ ආධාර කරුවන් විසින් විරෝධතා ව්‍යාපාරයක් සංවිධාන කොට තිබිණ.

විරෝධතා ව්‍යාපාරය මෙහෙයවූ එම සංවිධානයේ වී. රුද්‍රකුමාරන් කියා සිටියේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට සහ හමුදාවට එරෙහිව ක්‍රියාත්මක වූ විරෝධතාවයට ඇමරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ ආධාර කරුවන්ගේ සහය ලැබුණු බවයි.

එක්සත්ජාතීන්ගේ පරීක්ෂණ කණ්ඩායම් වලට ශ්‍රී ලංකාවට පැමිණ ම සඳහා වීසා නිකුත් නොකිරීම, සහ සාක්ෂි දීමට ඉදිරිපත් වුවන් බිය ගැන්වීම සම්බන්ධයෙන් විරෝධතා කරුවෝ සිය දැඩි විරෝධය පළ කළහ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර