ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණය ජනවාරියේ?

Image copyright AFP
Image caption ජනාධිපති මහින්ද රාජපක්ෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමකදී

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ කටයුතු මෙහෙයවීම සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් විශේෂ මෙහෙයුම් මධ්‍යස්ථානයක් විවෘත කොට තිබේ.

ආර්ථික සංවර්ධන ඇමති අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් එම මධ්‍යස්ථානය විවෘත කළ අතර මෙය ඉතා ඉක්මනින් ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් පැවැත්වීමේ පෙරනිමිත්තක් බවයි දේශපාලන නිරීක්ෂකයන් පවසන්නේ.

ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතව ඇත්තේ 2016 වසරේ නොවැම්බර් මාසයේදී වුවත් ඕනෑම අවස්ථාවකදී ජනාධිපතිවරණයක් පැවැත්වීමට ජනාධිපතිවරයා වෙත බලය පැවරී තිබේ.

ජනාධිපතිවරණය ලබන ජනවාරි මාසය ආරම්භයේදී පැවැත්වෙනු ඇති බවට දේශපාලන නිරීක්ෂකයෝ අනුමාන කරති.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ සන්ධානයේ ඉදිරි ඡන්ද කටයුතු මෙහෙයවීම සඳහා මෙම මැතිවරණ මෙහයුම් මධ්‍යස්ථානය විවෘත කළ බව අමාත්‍ය ඒ.එච්.එම්. පවුසි ප්‍රකාශ කළ බව සංදේශය හා විමසුමකට එක්වූ ප්‍රංශ පුවත් සේවයේ කොළඹ වාර්තාකරු අමල් ජයසිංහ ප්‍රකාශ කළේය.

2015 මුල් භාගයේදී ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණය පැවැත්වෙනු ඇතැයි රටේ බොහෝ දෙනකු විශ්වාශ කරන බව පැවසූ ඇමතිවරයා ඉදිරියේ ඇති එම මැතිවරණ සඳහා මේ කාර්යාලය විවෘත කළ බව කියා සිටි බවයි ඔහු පැවසුවේ.

පාප් වහන්සේගේ සංචාරය

ජනවාරි මාසයේ 13 වැනිදා සිට 15 වැනිදා දක්වා ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරයක යෙදීමට නියමිතව තිබේ.

මැතිවරණයක් පැවැත්වෙන කාලය තුල හෝ මැතිවරණයකින් පසු එළඹෙන ආසන්න කාලය තුළ පාප් වහන්සේ එම රටේ සංචාරය නොකරන බව කතෝලික සභාවේ පිළිගැනීම බවයි ප්‍රංශ පුවත් සේවයේ කොළඹ වාර්තාකරු අමල් ජයසිංහ පැවසුවේ.

ජනප්‍රියතාව

ඌව පළාත් සභා මැතිවරණයෙන් පසු අදහස් පල කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ට ඇමතිවරුන් අදහස් දක්වමින් තවමත් ජාතික මැතිවරණයක් ජය ගැනීමට තමන්ට හැකියාව ඇති බව පවසා ඇතැයි පෙන්වා දෙන ඔහු එම ජනප්‍රියතාව රැක ගැනීම රජයේ අරමුණ විය හැකි බව ප්‍රකාශ කළේය.

එසේම විපක්ෂයේ ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයකු ඇති කර ගැනීමේ එකඟතාවක් නොමැති අවස්ථාවක හැකි ඉක්මනින් මැතිවරණයක් පැවැත්වීමෙන් රජයට වාසියක් අත් කරගැනීමේ හැකියාව පිලිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවධානය යොමුව ඇති බවක් විශ්වාශ කළ හැකි බවත් ප්‍රංශ පුවත් සේවයේ කොළඹ වාර්තාකරු අමල් ජයසිංහ සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර