වැට් වංචාකරුවන්ට සිර දඬුවම්

Image caption වැට් බදු නඩුවේ තවත් චූදිතයෙක්

රුපියල් කෝටි හාරසියයකට ආසන්න වැට් බදු වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබඅධිකරණය මග හැර සිටි විත්තිකරුවන් අට දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් වසර විස්ස බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කරන ලදී.

වෘත්තියෙන් ව්‍යාපාරිකයන් වූ විත්තිකරුවන් අට දෙනාට ඉහත කී සිර දඬුවමට අමතරව රුපියල් කෝටි තුන් දහසකට ආසන්න දඩයක් ද නියම කරන බවයි අධිකරණය ප්‍රකාශ කළේ.

මහාධිකරණය විසින් වරද කරුවන් හැටියට තීන්දු කරන ලද්දේ ආර්.එන්.මුර්ෂිඩ්, ඊ.එම්.රියාස්, ඒ.එස්.එම්.අවාමි, එම්.එන්.කාදර්, ඒ.ඊබ්රාහිම්, එස්.කුමුක්දින්, එම්.එල්.අලි සහ එන්.කේ.එම්.සෆික් යන චූදිතයන් අට දෙනායි.

වැට් බදු වංචා සම්බන්ධයෙන් නඩු පැවරීමෙන් පසුව එම විත්තිකාර ව්‍යාපාරිකයින් අට දෙනා රටින් පළා ගිය අතර ඔවුන් නොමැතිවයි අධිකරණය නඩු විභාගය පවත්වන ලද්දේ.

එහෙත් නීතිවේදීන් කණ්ඩායමක් චූදිතයන් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

නඩු විභාගය අවසානයේ අද සිකුරාදා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ ප්‍රකාශ කළේ විත්තිකරුවනට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොර ව ඔප්පු වී ඇති බවයි.

දේපළ රාජසන්තකයි

‘විත්තිකරුවන් අට දෙනාට එරෙහිව ඉදිරිපත් කල චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල සමත් වී තිබෙනවා. ඒ අනුව විත්තිකරුවන්ට පොදු දේපල පනත යටතේ ලබා දිය හැකි උපරිම දඬුවම් අධිකරණය නියම කරනවා.”යි පවසමින් මහාධිකරණ විනිසුරුවරිය සිය තීන්දුව ප්‍රකාශයට පත් කළාය.

දඬුවම් නියම වූ විත්තිකරුවන් අත් අඩංගුවට ගන්නා මෙන් ජාත්‍යන්තර

පොලිසිය වෙත වරෙන්තුවක් ද නිකුත් කල කොළඹ මහාධිකරණ විනිසුරුවරිය දඬුවම් පමුණුවන ලද විත්තිකරුවන් සතු දේශීය සහ විදේශීය සියලු වත්කම් පිළිබඳ තොරතුරු සොයා වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් රහස් පොලිසියට නියම කළාය.

එම වාර්තා ලැබීමෙන් අනතුරුව ඔවුන් සතු දේපළ රාජසන්තක කිරීමට අදාළ නියෝග නිකුත් කරන බවත් විනිසුරුවරිය ප්‍රකාශ කළාය.

රුපියල් කෝටි හාරසීයකයට ආසන්න වැට් බදු වංචා කිරීම සම්බන්ධයෙන් මෙම

විත්තිකරුවන්ට එරෙහිව 2001වසරේ දී නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබුණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර