කාබනික බිත්තර වී බෙදීම ඇරඹේ

Image copyright Anna Barry Jester and The Center for Public Integrity
Image caption වකුගඩු රෝගයට හේතුව කෘෂි රසායන බව 'තහවුරු වෙලා'

කෘෂි රසායනවලින් තොරව මාස් කන්නයේදී කුඹුරු අක්කර 50,000ක් වගා කිරීම සඳහා අවශ්‍ය බිත්තර වී නොමිලේ බෙදා දීම ආරම්භ කළ බව බලධාරීහු පවසති.

කාබනික බිත්තර වී බෙදාදීමේ උත්සවය සෙනසුරාදා එප්පාවල ඛෙත්තාරාම විහාරස්ථානයේදී පැවැත්වෙන බව රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය චන්න ජයසුමන බීබීසී සංදේශයට පැවසීය.

ව්‍යාපෘතිය වෙනුවෙන් මූල්‍යාධාර සපයන්නේ විශේෂ ව්‍යාපෘති පිළිබඳ අමාත්‍යාංශයයි.

රජරට ප්‍රදේශය ඇතුළු රටපුරාම පාහේ වකුගඩු රෝගය පැතිර යාමට හේතුව වල් නාශක, කෘමි නාශක සහ රසායනික පොහොර භාවිතය බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවත්වන ලද පරීක්ෂණයකදී පවා තහවුරු වී ඇති බවද වෛද්‍ය ජයසුමන සඳහන් කළේය.

ගතව ගිය වසර කිහිපය ඇතුලත 50,000 කට අධික ශ්‍රී ලංකාවාසීන් වකුගඩු රෝගයෙන් මියගොස් ඇති බව පෙන්වා දෙන වෛද්‍යවරයා, රෝගීන් බේරා ගැනීමේ හැකියාවක් නැතත් අනාගත පරපුර හෝ වකුගඩු රෝගයෙන් බේරා ගැනීම මෙම නියමු ව්‍යාපෘතියේ අරමුණ බව ද පැවසීය.

කළු හීනැටි, මඩතවාලු, කුරුළු තුඩ වැනි කෘෂි රසායන අනවශ්‍ය පැරණි වී වර්ග ගම් කීපයක සුරැකී තිබුණ බව පවසන වෛද්‍යවරයා ඒවා ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය මෙයින් කන්න හතරකට පෙර ආරම්භ කළ බවත් සංදේශයට පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර