මුස්ලිම් ප්‍රජාව සහෝදරයන් ලෙස රැක බලා ගන්නවා - ජනපති

Image copyright News.lk
Image caption 'මම මුස්ලිම් ප්‍රජාව මාගේ සහෝදරයන් ලෙස රැකබලා ගනිමි'

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව සිය සහෝදරයන් ලෙසින් රැක බලා ගන්නා බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

එකසත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වීම පිණිස නිව්යෝක් නුවරට ගොස් සිටින ජනාධිපතිවරයා එම ප්‍රතිඥාව දී තිබෙන්නේ ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ මහ ලේකම් ඉයාඩ් අමීන් මදනි හමු වූ අවස්ථාවේ.

ශ්‍රී ලංකාවේ මෑතකදී හටගත් 'හුදකලා වූ සිද්ධීන් කිහිපයක්' පිළිබඳව ඔවුන් දෙදෙනා සාකච්ඡා කළ බවත්, ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාවට එරෙහිව සිදු වන ඕනෑ ම සිද්ධියක් මැඬපැවැත්වීම සඳහා ක්ෂණික ක්‍රියාමාර්ග ගැනීමට නොපැකිලෙන බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහලේකම්වරයාට සහතික වූ බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලංකාව සිය සංවිධානයෙන් පිටස්තර රටක් ලෙස නොසලකන බව ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ මහලේකම්වරයා එයට ප්‍රතිචාර වශයෙන් සඳහන් කළ බවත් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය වාර්තා කරයි.

සිය සංවිධානය ශ්‍රී ලංකාව නොකඩවා අගය කරන අතර ශ්‍රී ලංකාව සහ ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල් අතර සබඳතා වැඩි දියුණු කිරීම සඳහා සහයෝගය දැක්වීමට බලාපොරොත්තු වන බවත් ඉයාඩ් අමීන් මදනි සඳහන් කොට තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර