වීසා දීමට මැදිහත් වූ ජනපතිට තුති -විරතු හිමි

  • 2014 සැප්තැම්බර් 28
Image copyright AFP Getty Images
Image caption බුරුමයේ මුස්ලිම් විරෝධී ප්‍රහාරයන් දියත් කළ බවට චෝදනා ලැබ සිටින අශින් විරතු හිමි

මුස්ලිම් සංවිධානවල විරෝධය මධ්‍යයේ තමාට වීසා ලබා දීමට මැදිහත් වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ස්තුතිය පුද කරන බව බුරුමයේ අශින් විරතු හිමියෝ පවසති.

විරතු හිමියන් මේ බව කියා සිටියේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති බොදු බල සේනා මහ සමුළුව අමතමින්.

බුරුමයේ මුස්ලිම් විරෝධී ප්‍රහාරයන් දියත් කළ බවට චෝදනා ලැබ සිටින අශින් විරතු හිමියන්ට ලංකාවට පැමිණීම සඳහා විසා ලබා නොදෙන මෙන් මුස්ලිම් සංවිධාන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබුණි.

'මුස්ලිම් අන්තවාදය'

බොදු බල සේනා මහ සමුළුව අමතමින් බුරුමයේ අශින් විරතු හිමියන් තව දුරටත් කියා සිටියේ ලෝක බලවතුන් ක්‍රියාත්මක වී ඇති බවයි.

'එකිනෙකා මරා ගනිමින් ක්‍රියාත්මක වන මුස්ලිම් අන්තවාදයට ලෝක මාධ්‍ය නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටී. ලෝක බලවතුන් ප්‍රමුඛ මාධ්‍ය ව්‍යාපාරය ආර්ථිකමය, තාක්ෂණිකමය සන්නද්ධ බලය බෞද්ධයන්ට විරුද්ධව ක්‍රියාත්මක කරමින් සිටී. ජිහාඩ්වාදීන් විසින් ලෝක බෞද්ධ මතය නොමඟ යවා ඇත. අන්තවාදී මිනීමරුවන් නිවැරදිකරුවන් ලෙසත් අවිහිංසාවාදී බෞද්ධයන් වැරදිකරුවන් ලෙසත් හංවඩු ගැසීමටත් මෙම අන්තවාදීන් කටයුතු කරයි.' විරතු හිමියෝ පවසති.

බොදු බල සේනාවේ මහ සමුළුවට ආදිවාසී නායකයන්ද සහභාගී වීම විශේෂත්වයක් බවයි එය වාර්තා කළ ප්‍රසාද් පූර්නිමාල් ජයමාන්න පවසන්නේ.

'සිංහල දේශය'

රාජ්‍යය නම් කිරීමේදී සිංහල ජනරජය ලෙස හෝ සිංහල දේශය ලෙස උච්චාරණය කිරීමට සැලැස්විය යුතු බවත් ජාතික දිනය ලෙස වෙසක් දිනය නම් කළ යුතු බවත් මෙම සමුළුවේ දී බොදු බල සේනාවේ විධායක නිලධාරී ආචාර්ය දිලන්ත විතානගේ ප්‍රකාශ කළේය.

බොදු බල සේනාවේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කියා සිටියේ තම සංවිධානය කිසිවෙකුටත් විනාශ කළ නොහැකි බවයි.

'පක්ෂ දේශපාලනය නිසා විනාශ කරපු මේ ජාතිය නැවත වතාවක් කෙලින් කරලා හදන්න ඕනෑ. ඒකට උඹලට නායකත්වය ගන්න බැරි නම් ඒ නායකත්වය අපි දෙන්න ලෑස්තියි,' පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසුහ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර